ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජීඑස්පී ප්ලස් දීමට යුරෝපා ඇමතිවරුන්ගේ අනුමැතිය
ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට යුරෝපා සංගමයේ අමාත්‍ය මණ්ඩල කමිටුවේ අනුමැතිය හිමි වූ බව බ්‍රසල්ස් නුවර සිටින ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.
ඒ අනුව යළිත් වරක් ශ්‍රී ලංකාවට වරණීය තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට මේ වනවිට යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍යවරුන් යන අංශ තුනේම අනුමැතිය හිමි වී තිබේ.
වෙළෙඳ හා ආර්ථික කටයුතු පිළිබඳ යුරෝපා අමාත්‍ය කමිටුවේ තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුළත EU Journal නම් යුරෝපා ගැසට් පත්‍රයේ පළකිරීමට නියමිත බවත් තානාපතිවරයා සඳහන් කළේය.
"ඒ ජර්නල් එකේ පළ කරපු මොහොතේ ඉඳල ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ අපනයන සඳහා ඒ තීරු බදු සහනය ලැබෙනවා," තානාපති රොඩ්නි පෙරේරා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව චෝදනා කරමින් මහින්ද රාජපක්ෂ පාලනය සමයේ GSP+ තීරු බදු සහනය අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කළේය.
එම සහනය අහිමිවීමෙන් අනතුරුව ගතවගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 300-500 ත් අතර ප්‍රමාණයක පාඩුවක් සිදු වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum ) හිටපු මහ ලේකම් රොහාන් මාසකෝරාළ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.
ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමෙන් අනතුරුව යුරෝපා වෙළඳපොල තුළ ශ්‍රී ලංකා අපනයනවල වර්ධන වේගය අඩු වූ අතර, යළිත් එම සහනය ලැබීමත් සමග යුරෝපයට ඇඟලුම් සහ අනෙකුත් භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව ඉහල යනු ඇත.
ජීඑස්පී ප්ලස් සහනය යටතේ බදු වර්ගීකරණවලට අදාළ 66% ක භාණ්ඩ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන අතර ඒ අනුව රෙදිපිළි, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වර්ග රැසක් සඳහා වූ ආනයන බදු ඉවත් කෙරේ.
කෙසේවුවද මෙම සහනය යළි ලබා දීමෙන් අනතුරුව ද තිරසර සංවර්ධනය, මානව හිමිකම් මෙන්ම යහපාලනය කෙරෙහි වූ ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කෙරෙනු ඇති බව යුරෝපා කොමිසම පවසයි.
විශේෂයෙන්ම,
- ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය ඉවත්කිරීම
- අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම
- වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම සහ වද බන්ධන පැණවීම පිළිබඳව පියවර ගැනීම
- සමලිංගික සේවනය නීති විරෝධී බව දැක්වෙන වගන්තිය ඉවත්කිරීම
යන ප්‍රතිඥා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගනු ලබන පියවර පිළිබඳව ඉදිරියටත් නිරීක්ෂණය කළ යුතු බව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටියහ.