දිල්ලියේ විෂ වායු කාන්දුවීමක්: පාසල් දැරියන් දෙසීයක් රෝහල්

දිල්ලි අගනුවර බහාලුම් ගබඩාවකින් කාන්දු වූ විෂ වායුවක් හේතුවෙන් පාසල් දැරියන් දෙසිය දෙනෙකුවත් රෝහල් ගත කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

උගුරේ සහ ඇස්වල අපහසුතාවක් දැනෙන බවට ශිෂ්‍යාවන් පැමිණිලි කර ඇති අතර කෘමිනාශක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් ඊට හේතු වී ඇති බව විශ්වාස කෙරේ.

අදාළ රසායනික ද්‍රව්‍ය භාරව කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය කියා සිටී.

පාසල පිහිටි ටුග්ලකාබාද් ප්‍රදේශයේ පුද්ගලයන් ඉන් ඉවත් කර ඇති අතර දැරියන්ගේ සෞඛ්‍ය තත්වය දරුණු නොවන බව විශ්වාස කෙරේ.

රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ එය කාන්දු වූයේ කෙසේ දැයි යන්න පිළිබඳ පොලිසිය සහ ජාතික ආපදා කළමනාකරණ බලකාය පරීක්ෂණ පවත්වමින් සිටිති.

බෝපාල් ව්‍යසනය

විෂ වායු කාන්දු වීම හේතුවෙන් සිදු වන අනතුරු ඉන්දියාවෙන් නිතර වාර්තා වේ.

නිසි ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකිරීම හේතුවෙන් එවැනි අනතුරු බොහොමයක් සිදු වන බව බලධාරීහු පවසති.

2014 වසරේදී චටිස්ගාර් ප්‍රාන්තයේ පිහිටි වානේ කම්හලකින් විෂ වායු කාන්දුවීමක් සිදු වූ අතර ඉන් පුද්ගලයන් හය දෙනෙකු මරණයට පත් විය.

1984 වසරේ බෝපාල්හි විෂ වායු කාන්දුවීමකින් පුද්ගලයන් විසි පන්දහසක්වත් මරණයට පත් වූ අතර එය ලොව මෙතෙක් සිදු වූ බරපතළම කාර්මික ව්‍යසනය ලෙස සැළකේ.