කත්මණ්ඩු අඳුරු කරන ගඩොල් පෝරණු විෂ දුම්

2015 අප්‍රේල් 25 වෙනිදා මධ්‍යම නේපාලය මුහුණ දුන් මහා භූමි කම්පාවෙන් ගොඩ ඒමට ඔවුන් සමත් වුවත් එරට මුහුණ දී ඇති දරුණු පරිසර ගැටලුවකින් ගොඩ ඒමට ඔවුන් තවමත් සමත් වී නැත.

බීබීසී ලෝක සේවයේ පරිසර වාර්තාකරු නවීන් සින් කට්කා මධ්‍යම නේපාලයේ සිදු කළ ගවේෂණ චාරිකාවකින් අනතුරුව එහි පරිසර දූෂණයට ප්‍රබල සාධකයක් ලෙස පැරණි පන්නයේ ගඩොල් පෝරණුවලින් නිකුත් කෙරෙන විෂ වායුව හඳුනා ගෙන ඇත.

නේපාලයේ කත්මණ්ඩු නිම්නය කරා යන්නෙකුට එහි දක්නට ලැබෙන සුලබ දර්ශනයක් වන්නේ පැරණි තාක්ෂණය යොදා ගනිමින් ඉදි කරන ලද ගඩොල් පෝරණු වලින් නිකුත් කෙරෙන ඝන කළු දුමාරය ඉහළ නගින ආකාරයයි.

එම පැරණි තාක්ෂණය යටතේ ඉදි කොට ඇති ගඩොල් පෝරණුවල උදුනට ප්‍රමාණවත් වාතය නොලැබෙන හෙයින් ගඩොල් පිළිස්සීමට පාවිච්චි කරන අඟුරු මැනවින් දහනය නොවන අතර අඟුරු කුඩු දුමාරයත් සමග පරිසරයට එක්වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එවැනි ගඩොල් පෝරණු මගින් නිකුත් කෙරෙන සෑම විෂ වායු කියුබික් මීටරයක මයික්‍රෝ ග්රෑම් 700කට අධික විෂ වායු අන්තර්ගත වන බව නේපාලයේ කඳුකර සංවර්ධනය සම්බන්ධීකරණය සඳහා කටයුතු කරන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ විද්‍යාඥ බිද්‍යා ප්‍රධාන් පවසයි.

ජන ජීවිතයට හානිකර බලපෑම්

එම තත්වය කත්මණ්ඩු නිම්නයේ ජන ජීවිතයට හානිකර මට්ටමින් බලපාන අතර එහි නිවැසියෙකු වන රාම් ශෝවා බණ්ඩාරි බීබීසියට අදහස් පල කරමින් ගඩොල් පෝරණු වලින් නිකුත් කෙරෙන අඟුරු කුඩු සිය ගෙවතු වල එළවලු මත තැන්පත් වන බව සඳහන් කළේය.

මෙම පරිසර ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා සුදුසු විසඳුම නවීන තාක්ෂණය යටතේ ගඩොල් පෝරණු ඉදිකිරීම බව බිද්‍යා ප්‍රධාන් විද්‍යාඥවරිය පෙන්වා දෙන්නීය.

නවීන තාක්ෂනය යටතේ නිර්මාණය කරන ලද ගඩොල් පෝරනුවකින් නිකුත් කෙරෙන වායු කියුබික් මීටරයක විෂ අංශු අන්තර්ගතය මයික්රෝ ග්රෑම් 200ක් තරම් පහළ මට්ටමකට වැටෙන බව විද්‍යාඥවරිය පෙන්වා දෙන්නීය.

'Zigzag' තාක්ෂණය

2015 මහා භූමි කම්පාවෙන් කඩා වැටුණු තම ගඩොල් පෝරණුව යළි ඉදි කිරීමේ දී නවීන තාක්ෂණය උපයෝගී කරගත් තැනැත්තෙකි රාම් කජි අවේල්.

"මගේ පෝරණුවේ අඟුරු මැනවින් පිළිස්සෙනවා, පැරණි ගඩොල් පෝරණු වල තරම් විෂ වායු දැන් පරිසරයට එක් වන්නේ නැහැ" රාම් කජි අවේල් පවසයි.

එහෙත් එම නවීන ගඩොල් පෝරණු සඳහා විශාල ආයෝජනයක් කිරීමට සිදුවන බවත් ඔහු පවසයි.

"ආයෝජනය අධික වුනත් මගේ සහ අන් අයගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් මම එය සිදු කරනවා" රාම් කජි අවේල් පවසයි.

මෙම අලුත් ගඩොල් පෝරණු සඳහා යොදා ගනු ලබන තාක්ෂණය හඳුන්වන්නේ 'Zigzag' යනුවෙනි.

එම තාක්ෂණය යටතේ ඉදි කරන ගඩොල් පෝරණුවලින් පරිසරයට මුදා හරිනු ලබන විෂ වායුව 60%කින් අඩු කර ගැනීමට හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පැරණි ගඩොල් පෝරණු වලින් පීඩා විඳින කත්මණ්ඩු වැසියෝ නවීන ගඩොල් පෝරණු අගය කරන බව බීබීසී මාධ්‍යවේදී නවීන් සින් කඩ්කා පවසයි.

"ඉස්සර අපි අපේ ගෙවත්තෙ වැඩ කරද්දී ගඩොල් පෝරණු වලින් නිකුත් කෙරෙන අඟුරු කුඩු නිසා අත් කළු පාට වුනා. ඉර අව්වෙන් ඇඳුම් වේලාගන්න වහලට නැග්ගම කකුල් කළු ගැහුනා. දැන් ඒ ප්‍රශ්න ඉවරයි. කැස්ස හුස්ම ගැනීමේ අපහසුව ආදියෙන් පීඩා විඳින අයත් අඩු වෙලා." රාම් ශෝවා බණ්ඩාරි පවසයි.

කෙසේ වෙතත් කත්මණ්ඩු නිම්නයේ ගඩොල් පෝරණු වලින් බහුතරය තවමත් යොදා ගන්නේ පැරණි තාක්ෂණයයි. කත්මණ්ඩු නගරයෙන් පිටත මෙවැනි පැරණි තාක්ෂණය සහිත අටසීයකට අධික පෝරණු දක්නට ලැබෙන අතර ඒවා නවීන තාක්ෂණය සහිත පරිවර්තනය කළ යුතුව ඇතැයි බිද්‍යා ප්‍රධාන් පෙන්වා දෙන්නීය.

නේපාලයේ ගඩොල් පෝරණු වලින් නිකුත් කෙරෙන ඝන විෂ දුමාරය වෙනත් වායු දුෂක අංශ සමග සාපේක්ෂව බලනවිට පහත මට්ටමක පැවතුනත් ඉන් ඇති කෙරෙන බලපෑම බරපතළ එකකි.

එම ඝන දුමාරය පවතිද්දී කත්මණ්ඩු කරා පියාසර කරමින් තිබුණ ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවල් කරා හරවා යැවීමේ අවස්ථාවන් ද වාර්තා වී ඇත.