ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කාල් වින්සන්' මුහුදුබත් කිරීමට සූදානම් - උතුරු කොරියාව
කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව "මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම්" බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියාව 'නෝඩෝන්ග් ෂින්මුන්' පුවත්පත ඔස්සේ අනතුරු හඟවා තිබුණේ USS කාල් වින්සන් නෞකාව "එක් ප්‍රහාරයකින්" මුහුදුබත් කළ හැකි බවය.
වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කලාපය වෙත මේ සතියේ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරෙයි.
ප්යොංයැං මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සතු "මූලෝපායික ඉවසීම" අවසානයක් කරා පැමිණ ඇති බවට සිදු කළ අනතුරු හැඟවීම් මධ්‍යයේ එම කලාපයට USS කාල් වින්සන් නෞකාව යෙදෙවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
උතුරු කොරියාව විසින් මෑතක සිදු කළ අසාර්ථක මිසයිල අත්හදා බැලීම සහ නවතම ප්‍රහාරක අවි ප්‍රදර්ශනය කරමින් ප්යොංයැං නුවර පැවති හමුදා සංදර්ශනයත් සමග එම කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතී.
යුද සරඹ
වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක නෞකා කණ්ඩායම ජපාන නාවික හමුදාව සමග අද (අප්‍රේල් 23) පිලිපීන මුහුදේ දී ඒකාබද්ධ යුද සරඹයක නිරත විය.
කොරියානු කලාපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හා එහි ගමන් මග
- අප්‍රේල් 08: කොරියානු අර්ධද්වීපය දෙසට යාත්‍රා කරන ලෙස ඇමරිකානු හමුදාව සිය ප්‍රහාරක නාවික කණ්ඩායමකට නියෝග ලබා දුණි.
- අප්‍රේල් 11: "බලගතු ආයුද" යොදා ගනිමින් සිය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව උතුරු කොරියාව පැවසීය.
- අප්‍රේල් 15: ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් දකුණු කොරියාව වෙත ළඟා වෙද්දී උතුරු කොරියාව සිය සමාරම්භක නායකයා වූ කිම් ඉල්- සුං ගේ 105 වෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් මිසයිල ප්‍රදර්ශනය කරමින් විශාල යුද සංදර්ශනයක් පැවැත්වීය.
- අප්‍රේල් 16: උතුරු කොරියාව රොකට් අත්හදාබැලීමක් සිදු කළ අතර එය අසාර්ථක විය.
- අප්‍රේල් 17: තවදුරටත් "සති පතා" මිසයිල අත්හදා බලන බව උතුරු කොරියානු බලධාරියෙක් බීබීසී වෙත පැවැසූ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් "අත්හදාබැලීම්" සිදු නොකරන ලෙස උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය.
- අප්‍රේල් 18: කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇති බව වාර්තා විය.
සබැඳි යොමු