කාන්තාවන් නැති 'කාන්තා මණ්ඩලයක්'

කාන්තාවට හඬක් නැගීමට ඉඩ නොදෙන රටක් වශයෙන් නම් ලබා සිටින සෞදි අරාබියේ තරුණියන් වෙනුවෙන් මණ්ඩලයක් පිහිටුවීම කාන්තාවන් වෙනුවෙන් නව බලාපොරොත්තු ඇතිකරන පියවරක්.

නමුත් සෞදි අරාබියේ අල් කසීම් පළාතේ පිහිටවනු ලැබූ තරුණියන් පිළිබඳ මණ්ඩලයේ සමාරම්භක උත්සවයේ එක් කාන්තාවක හෝ වේදිකාවේ අසුන්ගෙන සිටියේ නැත.

කාන්තා මණ්ඩලයේ සමාරම්භක උළෙල සංකේතවත් කරමින් පළ කෙරුණු ඡයාරූප වලින් දිස් වූයේ වේදිකාවේ අසුන් ගත් පිරිමින් දහ තුන් දෙනෙකු වැඩසටහන මෙහෙයවන අයුරුය.

කාන්තා සහභාගිත්වය

එම කාන්තා මණ්ඩලයට සහභාගී කරගත් කාන්තාවන් කිහිපදෙනා උත්සවය පැවැත්වූ ස්ථානයට නුදුරින් පිහිටි කාමරයක සිට වීඩියෝ කැමරාවක් හරහා වැඩසටහනට සම්බන්ධ කරගෙන තිබුණි.

පසුගිය සෙනසුරාදා පැවති එම කාන්තා මණ්ඩල සමාරම්භක රැස්වීමේ පිරිමින්ගෙන් පමණක් සැදුම් ලත් වේදිකාවේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය පුරා ප්‍රචලිත වෙමින් පවතී.

පසුගිය ජනවාරි මාසයේ පිරිමි රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් පිරිවරාගත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ දී ගබ්සාව පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අත්සන් කරනු ලැබූ අවස්ථාවේ දී ගනු ලැබූ ඡායාරූපයක්, අදාළ සෞදි කාන්තා මණ්ඩල ඡයාරූප සමග සංසන්දනය වන අයුරු සමාජ මාධ්‍ය තුළින් පෙන්නුම් කෙරේ.

කෙසේ වෙතත් කාන්තා මණ්ඩලයේ සමාරම්භක උත්සවයේ මුලසුන හෙබවූ සෞදි කුමරු ෆෙයිසාල් බින් මිශාල් බින් සෞද් කියා සිටියේ කාන්තාවන් වෙනුවෙන් මෙවැනි මණ්ඩලයක් ප්‍රථම වරට සෞදි අරාබිය තුළ පිහිටුවීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් ආඩම්බරවන අතර ඉදිරියේ දී තවත් එවන් අවස්ථා උදා කිරීමට තමාට වගකීමක් ඇතැයි හැඟුණු බවය.