ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සත්වෝද්‍යානයේදීම රයිනෝ පැටවා මරා අඟ පැහැරගනී
ප්‍රංශයේ පිහිටි සත්ව උද්‍යානයකට අනවසරයෙන් ඇතුළු වූ දඩයක්කරුවන් කණ්ඩායමක් දුර්ලභ සුදුපැහැති රයිනෝ පැටවකු වෙඩි තබා ඝාතනය කොට ඇති බව ප්‍රංශ පොලිසිය පවසයි.
අවුරුදු හතරක් වයසැති රයිනෝ සත්වයා මරා කියතක් ආධාරයෙන් අඟ කපා සිරුරෙන් ඉවත් කරගෙන ගොස් ඇත.
පැරිස් නුවරින් කිලෝමීටර හතළිහක් ඔබ්බෙන් පිහිටි 'තොයිරි' සත්ව උද්‍යානයට දඩයක්කරුවන් ඇතුළු වී තිබෙන්නේ ඊයේ (මාර්තු 06) රාත්‍රියේ දීය.
යුරෝපයේ පිහිටි සත්ව උද්‍යානයක රයිනෝ සත්වයකු දඩයක්කරුවන්ට ගොදුරු වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැළකේ.
දඩයක්කරුවන් 'වින්ස්' නමැති එම රයිනෝ පැටවාගේ හිසට තෙවරක් වෙඩි තබා ඇති බව කියා සිටි සත්ව උද්‍යාන පාලකයෝ, කිලෝවක පමණ බරින් යුතු එක් අඟක් සොරකම් කොට ඇති බව පවසති.
රයිනෝ අඟට කළු වෙළෙඳපොලේ පවතින ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් දඩයමට වැඩි වශයෙන් ලක්වන රයිනෝ සත්වයන් මිහිපිටින් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටී.