'හොඳම අවන්හලේ' සම හිමිකරු වූ 'පිඟන් සෝදන්නා'

ලොව හොඳම ආපන ශාලාව ලෙස සිව් වරක්ම නම් කෙරුණු ආපන ශාලාවේ සම හිමිකාරිත්වය එහි මුළුතැන්ගෙයි පිඟන් සේදූ පුද්ගලයාට ලබා දීමේ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා වේ.

කෝපන්හේගන් හි 'නෝමා' නමැති ආපන ශාලාවේ වත්මන් හවුල්කරුවකුවන හැට දෙහැවිරිදි අලී සොන්කෝ, ආපන ශාලාව විවෘත කළ දා පටන් එහි සේවය කරයි.

ගැම්බියාවේ සිට ඩෙන්මාර්කයට පැමිණි අලී සොන්කෝ සහ ආපන ශාලාවේ සේවය කළ තවත් කළමනාකරුවන් දෙදෙනෙකු එහි නව හවුල්කරුවන් ලෙස නම් කොට තිබේ.

වසර දාහතරකට පසු දැනට වසා දමා තිබෙන 'නෝමා' ආපන ශාලාව ලබන දෙසැම්බරයේ සිට 'අර්බන් ෆාම්' යන නමින් යළි විවෘත කිරීමට නියමිතය.

'හදවතත්, ආත්මයත් අලී'

"මේ ආපන ශාලාවේ හදවතත්, ආත්මයත් අලී" සති අන්තයේ නෝමා ආපන ශාලාවට එක්රැස් වූ මිතුරන් කණ්ඩායමක් අමතමින් එහි සුපවේදී රෙනේ රේඩ්සේපි පැවසීය.

'නෝමා' ආපන ශාලාව ලොව හොඳම ආපන ශාලාවට හිමි ජාත්‍යන්තර සම්මානය පළමුවරට දිනාගත්තේ 2010 වසරේදීය.

වීසා බලපත්‍ර සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් වසර තිස් හතරක් පුරා ඩෙන්මාර්කයේ වෙසෙන අලීට ලන්ඩනයේ පැවති සම්මාන උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය.

නමුත් 'නෝමා' ආපන ශාලාවේ සෙසු සාමාජිකයෝ අලී අමතක නොකිරීමට තරම් කාරුණික වූහ.

ජාත්‍යන්තර සම්මාන

සම්මානය ලබා ගන්නා අවස්ථාවේ 'නෝමා' කාර්ය මණ්ඩලය සිය මුළුතැන්ගෙයි පිඟන් සෝදන්නාගේ රුව සහිත ටී ෂර්ට්වලින් සැරසී සිටියහ.

වීසා බලපත්‍ර සම්බන්ධයෙන් මතු වී තිබූ ගැටලුව වසර දෙකකට පසු විසඳුණු අතර ඉන් අනතුරුව ලොව හොඳම ආපන ශාලාවට හිමි සම්මානය යළි දිනාගත් අවස්ථාවේ සභාව අමතන ලද්දේ ද අලී විසිනි.

කෝපන්හේගන් අගනුවරට පැමිණීමට පෙර ගැම්බියාවේ ගොවියෙකු වශයෙන් කටයුතු කළ අලී එවක ඩෙන්මාර්කයේ වෙබ් අඩවියක් වෙත පවසා තිබුණේ පිඟන් සේදීම තම ජීවිතයේ මෙතෙක් ලැබුණු හොඳම රැකියාව බවය.

"මම මෙතන කොච්චර සතුටින්ද වැඩ කරන්නේ කියලා වචනයෙන් විස්තර කරන්න බැහැ." යනුවෙන් කී අලී "වැඩ කරන්න හොඳම මිනිස්සු මෙතන ඉන්නේ. ඒ වගේම මම හැමදෙනා එක්කම යාළුයි. ඔවුන් මට විශාල ගෞරවයක් දක්වනවා. ඉල්ලන ඕනෑම උදව්වක් කරලා දෙන්න ඉදිරිපත් වෙනවා. මේක හොඳම රැකියාව කියලා කියන්න ඒ කරුණු හොඳටම ප්‍රමාණවත්" යැයි පැවසීය.