චීන ආර්ථික වර්ධනය පිළිබඳ 'දත්ත අසත්‍යයි'

චීනයේ ආර්ථික වර්ධනය පිළිබඳ ඇතැම් දත්ත නිවැරදි නොවන බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයෙක් සනාථ කළේය.

ලියෝනින්ග් (Liaoning) ප්‍රාන්තයේ ආර්ථිකය සම්බන්ධයෙන් මෑතදී ප්‍රකාශයට පත් වූ ඇතැම් දත්ත අසත්‍ය සංඛ්‍යාලේඛන මත පදනම් වී ඇති බවත් ආණ්ඩුකාර චෙන් කියුෆා (Chen Qiufa) සඳහන් කළේය.

උසස්වීම් සහ ප්‍රශංසා ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නිලධාරීන් විසින් ඇතැම් දත්ත අතිශයෝක්තියෙන් හුවා දක්වා ඇති බව ආණ්ඩුකාරවරයාගේ අදහසයි.

රටේ ආර්ථික වර්ධනයට අදාළ දත්ත පිළිබඳව අගමැති ලී කෙකියෑන් පවා අතීතයේදී සැක පහල කර තිබෙන බව විශ්වාස කෙරේ.

චීනයේ පසුගිය වසරේ ආර්ථික වර්ධනය සම්බන්ධ දත්ත ලබන සිකුරාදා ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.