රෝහලක සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක්

අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඩෙංගු රෝගය වැළඳුන දොළොස් දෙනකුට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් එම රෝහලේ ස්ථාපනය කර තිබේ.

එම විභාග අපේක්ෂකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වෛද්‍යවරුන් අඛණ්ඩ නිරීක්ෂණයක නිරත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය සෙනසුරාදා අවසන් වේ.

මේ වසර තුළ ඩෙංගු රෝගීන් 47,900 ක් වාර්තා වී ඇති අතර, එයින් 77 දෙනකු මියගොස් තිබේ.

මේ තත්වය දිවයිනේ දිස්ත්‍රික්ක දහයක හදිසි ආපදා තත්වයක් නිවේදනය කළ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු කළේය.

ඉන් අනතුරුව පසුගිය සඳුදා ආරම්භ කළ විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකවන අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේද සහාය ලබා ගෙන තිබේ.