ප්‍රංශ අගමැති ධුරය අභ්‍යන්තර කටයුතු ඇමතිට

ප්‍රංශයේ නව අගමැති බර්නාඩ් කැසනෝවා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශයේ නව අගමැති බර්නාඩ් කැසනෝවා

එළඹෙන වසරේ ප්‍රංශ ජනාධිපතිවරණය වෙනුවෙන් තරඟ වැදීමේ සූදානමින් ධුරයෙන් ඉවත් වූ මැනුවෙල් වාල්ස් වෙනුවට නව අගමැතිවරයා ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඩ් කැසනෝවා පත් කොට තිබේ.

මැනුවෙල් වාල්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා ඕලොන්ද් වෙත භාර දුන්නේ අද (දෙසැ 06 ) දිනයේ දී.

ඒ අනුව එළඹෙන ජුනි මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු බර්නාඩ් කැසනෝවා ප්‍රංශයේ සමාජවාදී පාලක පක්ෂ රජයේ නායකත්වය ගෙන ක්‍රියා කරනු ඇත.

ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරණයට තරඟවදින මැනුවෙල් වාල්ස්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරණයට තරඟවදින මැනුවෙල් වාල්ස්

පසුගිය වසරේ පැරිස් නුවරට එල්ල වූ ජිහාඩි ප්‍රහාර මාලාවෙන් පසු රටේ ආරක්ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් ප්‍රමුකත්වය ගෙන ක්‍රියා කළ බර්නාඩ් කැසනෝවා එවකට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන මැනුවෙල් වාල්ස් මීළඟ මාසයේ පක්ෂය තුළ පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීමේ ප්‍රාථමික නිලවරණයට සහභාගී වීමට නියමිතයි.

කෙසේ වෙතත් පසුගිය සතියේ ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා ඕලෝන්ද් තමන් දෙවනවර ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟ වැදීමට අදහස් නොකරන බව ප්‍රකාශ කිරීම ජනතාව මවිතයට පත් කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.