"ට්‍රම්ප් ජනාධිපතිවරණ පොරොන්දුව කඩ කරලා"

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රාජ්‍ය ගනුදෙනු වෙනුවෙන් සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිතා කිරීම ඇතුළු හිලරි ක්ලින්ටන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා නැවත විභාග නොකරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගේ මැතිවරණ ආධාරකරුවෝ සිය දැඩි අප්‍රසාදය පල කරති.
හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ධුරය දැරූ වකවානුවේ එල්ල වූ චෝදනා සියල්ල නැවත විභාග කොට ඇයට නිසි දඬුවම් ලබා දෙන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී දුන් පොරොන්දුව කඩ කිරීමක් ලෙස ඔවුහු එම ප්‍රකාශය දකිති.
හිලරි ක්ලින්ටන්ට එරෙහිව විභාගයක් පවත්වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙන ලද ප්‍රතිඥාව ඩිමොක්‍රටික් කඳවුරට විශාල අභියෝගයක් වූ අතර එය ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් ලද ජයග්‍රහණයට ප්‍රබල හේතුවක් වූ බව විචාරකයෝ පෙන්වා දෙති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කෙසේ වෙතත් ඇමරිකාවේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් හිලරිට එරෙහි චෝදනා නැවත විභාග නොකරන බවට කළ ප්‍රකාශයත් සමග ඔහුගේ මැතිවරණ ප්‍රචාරක රැලි වල "හිලරි සිර ගත කරනු" යනුවෙන් කළ කෑමොර දීම් අර්ථ ශුන්‍ය වී ඇති බව පෙනී යයි.
2016 ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ ට්‍රම්ප් පිල වෙනුවෙන් සිය පක්ෂපාතීත්වය ප්‍රකාශකළ සහ මැතිවරණ ප්‍රචාරක රැලිවල ඉදිරියෙන් ක්‍රියාකළ ආධාරකරුවෝ සිය නායකයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මත දෙකක් පළ කරති.

ඡායාරූප මූලාශ්‍රය, TWITTER
එක් කණ්ඩායමක් සිය දැඩි කෝපය පළ කරන අතර දෙවන කණ්ඩායම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් තවමත් පෙනී සිටී.
ට්වීටර් පණිවුඩ ඔස්සේ ඔවුන් සිය අදහස් මෙසේ පළ කොට තිබුණි.
"ට්‍රම්ප් අප පාවා දුන්න කියලා හිතෙනවා." - ජෙෆ් ඩිප්ලෝරබල්

ඡායාරූප මූලාශ්‍රය, TWITTER
"වොෂින්ටන් පාලනය කියන මඩ වගුරේ කොටසක් හිලරි ක්ලින්ටන්, ඇයට එරෙහි චෝදනා විභාග කළ යුතුයි. ඔබ දීපු පොරොන්දුව කඩන්නේ නැතුව ඒ මඩ වගුර පිරිසිදු කරන්න."
කෙසේ වෙතත් ඇතැම් ට්‍රම්ප් අධාරකරුවන් ඔහුගේ ප්‍රකාශය අනුමත කරමින් සමාජ මාධ්‍ය ජාලයේ සිය අදහස් පලකොට තිබුණි.
'ටර්නින් පොයින්ට්' නම් සාම්ප්‍රදායිකවාදී බුද්ධි මණ්ඩලයේ නිර්මාතෘ චාර්ලි කර්ක් පවසන්නේ ට්‍රම්ප් ගේ ප්‍රකාශය 'නිවැරදි දිසාවට යොමු වූවක්' බවය.
ඔහු සිය ට්විටර් පණිවුඩය මගින් වැඩිදුරටත් කියා සිටින්නේ 'වසර හතළිහක් මුළුල්ලේ ජනාධිපති ධුරය ලබා ගැනීමට සුදානම් වී සිටි හිලරි ක්ලින්ටන්ට ලැබී ඇති දරුණුම සිර දඬුවම ඇය ලද පරාජය සමග ජීවත් වීමට සිදුවීම' බවය.

ඡායාරූප මූලාශ්‍රය, TWITTER
යම් පුද්ගලයෙකුට එරෙහිව විභාගයක් පැවැත්වීමට නියෝග කිරීම හෝ ඔවුන් සිරගත කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයෙකුට ඇති බලතල ඉතාමත් සීමා සහිතයි.
කෙසේ වෙතත් හිලරි ක්ලින්ටන් සිරගත කිරීමක් සාකච්ඡාවට ගැනීම පවා ඇතැමුන් විසින් හෙලා දකිනු ලැබ ඇත.
මේ අතර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ දේශන පිළියෙළ කිරීමේ යෙදෙන ජොන් ෆෙව්රෝව් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, රටේ අධිකරණ ක්‍රමය අභිබවා යමින් පුද්ගලයෙකු සිරගත කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයාට බලයක් ඇතැයි පැවසීම ජනතාව නොමග යැවීමක් වන අතරම එය ඉතා භයානක ක්‍රියාවක් ලෙස තමා දකින බවය.
(බීබීසි ට්‍රේන්ඩින්ග් - BBC Trending වෙබ් අඩවියේ පළ කෙරුණු ලිපියක් ඇසුරෙනි.)








