ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාශ්මීර දේශ සීමාව යළි උණුසුම් වෙයි
ඉන්දීය කාශ්මීර දේශ සීමා කලාපයේ සිට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් පුද්ගලයන් නව දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව පාකිස්තාන බලධාරීහු පවසති.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ සිය පාලනයේ පවතින දේශ සීමා කලාපයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් ෂෙල් ප්‍රහාරයට හසු වී ඇති බවය.
ප්‍රහාරයට ලක් වී තවත් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන බලධාරීහු සඳහන් කළහ.
නිවසකට එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් නිවැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වී ඇති බව මෙතෙක් සනාථ නොකරන ලද වාර්තාවල දැක්වේ.
සන්නද්ධ කණ්ඩායමක් විසින් සැඟවී සිට එල්ල කරන ලද ප්‍රහාරයකින් සිය හමුදා සාමාජිකයන් තිදෙනෙකු මරුමුවට පත්වීමත් සමග එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බව ඉන්දියාව මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි.
සන්නද්ධ කණ්ඩායම පාකිස්තාන දේශ සීමා කලාපයේ සිට පැමිණ ඇති බවට ඉන්දියාව චෝදනා කළේය.
මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීර කලාපය සම්බන්ධයෙන් 2003 වසරේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන බවට ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාට චෝදනා කර ගනිති.
කාශ්මීරය මුල් කර ගනිමින් දෙරට අතර මාස කීපයක සිට යළි උණුසුම් තත්වයක් මතු වෙමින් පවතියි.