IS කැරලිකරුවන්ට මෝසුල් අහිමිවන ලකුණු

අයි එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් හා සටන් වැද සිටින ඉරාක හමුදා මොසුල් නගරයට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශයේ ඉදිරි පෙළ බිඳ දමමින් පළමුවරට එහි ඇතුළු වූහ.

2014 වසරේ ජුනි මාසයේදී ජිහාඩ්වාදී අයිඑස් කැරලිකරුවන් අතටපත් මෝසුල් නගරය සම්පූර්ණයෙන් නිදහස් කරගැනීමට කටයුතු කරමින් සිටින බව ඉරාක හමුදාව පවසයි.

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන මෝසුල් නගරයට ඇතුළු වූ ආණ්ඩුවේ හමුදා ගෙයින් ගෙට යමින් සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටිති.

අයිඑස් තිප්පොළවල්, රහස් උමං මාර්ග, මරඋගුල් මෙන් ම සැඟවී සිට පහරදීම් බිය පළවීම හේතුවෙන් අතිරේක භට පිරිස් අපේක්ෂාවෙන් හමුදා කණ්ඩායම් රැඳී සිටින බව බීබීසී වාර්තාකරුවෙක් පැවසීය.

දින දාහතක් පුරා ක්‍රියාත්මක අයිඑස් විරෝධී මෙහෙයුම සඳහා කුර්දි සහ සුන්නි අරාබි ජනවර්ගවලට අයත් සාමාජිකයන් ඇතුළු හමුදා භටයන් පනස් දහසක් සම්බන්ධ වී සිටිති.

බියෙන් දිවි ගෙවූ ආකාරය මෝසුල් නගර වැසියෝ බීබීසීයට විස්තර කළහ.

පසුගිය අවුරුදු දෙකටම සිය නිවසින් බැහැරව ගියේ එක් වතාවක් පමණක් බව එහි සිටි කාන්තාවක් කියා සිටියාය.

මෝසුල්හි මේ වන විට සාමාන්‍ය වැසියන් දසලක්ෂයක් වෙසෙන බව ඇස්තමේන්තු කොට ඇති අතර නැවතත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අවධානය යොමු වී තිබේ.