ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පදනමක් නැති විමර්ශන': වාහන රේගුවේ හිරවෙලා
ඇතැම් රේගු නිලධාරීන් කිසිදු පදනමක් නොමැතිව විමර්ශන ආරම්භ කිරීම හේතුවෙන් ආනයනය කළ වාහන ගණනාවක් දීර්ඝ කාලයක් තිස්සේ රේගුවේ රඳවාගෙන සිටින බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා ඒ බව සඳහන් කළේ, වාහන සිය ගණනක් සම්බන්ධ විමර්ශන නතර කිරීමට ඔහු අණ දුන් බවට පළ වූ වාර්තා පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.
වාහනයක් පිළිබඳ රේගු විමර්ශන මාස තුනක උපරිම කාලයක් ඇතුළත නිම කර අදාළ වාහනය පිළිබඳව තීන්දුව ලබා දිය හැකි බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
"මම දන්නා විදියට සමහර වාහනවලට කිසිම පදනමක් නැතුව මේ විමර්ශන ආරම්භ කරලා, සමහර වාහන අවුරුදු එකහමාරක් විමර්ශනය කරනවා," චූලානන්ද පෙරේරා සඳහන් කළේ සංදේශයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
එවැනි විමර්ශන සඳහා මෙතරම් දීර්ඝ කාලයක් කිසිසේත්ම අනවශ්‍ය බවයි, ඔහු අවධාරණය කරන්නේ.
"ඒ සඳහා උපරිම කාලය මාස තුනකින් කරන්න පුළුවන්. වාහන දිරනවා. අවසානයේදී මේ වාහන වෙන්දේසි කරන්නත් බැරි වෙනවා."
මෙවැනි දීර්ඝ විමර්ශනවලින් රාජ්‍යයට හෝ වාහන හිමියාට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවන බවයි, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.