ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පියොන් යැන් නගරය විනාශ කිරීමේ දකුණු කොරියා සැලසුමක්'
උතුරු කොරියාව න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබෙන පළමු ඉඟි කිරීමේදීම උතුරු කොරියාවේ අගනගරය සහමුලින් විනාශ කර දැමීමට සැලසුම් කර ඇති බවට දකුණු කොරියාව අතිශයෝක්තියෙන් යුතුව හෙළි කිරීමත් සමග කොරියානු අර්ධද්වීපය වෙත පවතින අවධානය ඉහළ ගොස් තිබේ.
දකුණු කොරියානු රජයත් සමග කිට්ටු සබඳතා ඇති යොන්හැප් පුවත් ආයතනය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත එම සැළසුමේ විස්තර ලබා දී ඇති බවයි.
එම සැලසුමට අනුව උතුරු කොරියානු පියොන් යැන් නගරයේ සෑම දිස්ත්‍රික්කයක්ම බැලස්ටික් මිසයිල සහ අධි බල පිපිරුම් මගින් විනාශ කර දැමීමට නියමිතව තිබේ.
උතුරුකොරියාවේ විශාලතම න්‍යෂ්ඨික අත්හදා බැලීමෙන් දින දෙකකට පසු හෙලිකෙරුණු මෙම සැලසුම හේතුවෙන් දකුණු කොරියාවද න්‍යෂ්ඨික අවි නිෂ්පාදනයේ ඉතා ඉහල මට්ටමේ වර්ධනයක් ලබා ඇති දැයි යන බිය වර්ධනය වෙමින් පවතී.
පසුගිය සිකුරාදා උතුරු කොරියාව විසින් සිදුකරන ලද න්‍යෂ්ඨික පිපිරවීම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට දැඩි අවධානයට ලක්වී තිබේ.
උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව ඇමරිකාව සලකා බලමින් සිටින බව පැවසුණු අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, ජපානය සහ දකුණු කොරියාවද ඒ පිළිබඳව අවධානය යොමුකොට ඇති බවයි වාර්තා වූයේ.
ඉරිදා එම සම්බාධක පැනවීම් පිලිබඳ ප්‍රතිචාර දැක්වූ පියොන් යැන් පාලනය පවසා තිබුණේ එය සිනහ උපදවන කිසිදු තේරුමක් නැති අනතුරු ඇඟවීමක් බවයි.
දකුණු කොරියානු හමුදා නිලධාරියෙක් යොන්හැප් පුවත් සේවයට පැවසුවේ පියොන් යැන් අග නගරයේ සිටින උතුරු කොරියානු නායකයා ඉලක්ක කරමින් ප්‍රහාර සිදුවෙනු ඇති බවයි.
"ඔවුන්ගේ අග නගරය අළු කර දමා සිතියමෙන් ඉවත්කර දැමීමට කටයුතු කරනවා" යනුවෙනුයි එම හමුදා නිලධාරියා වැඩිදුරටත් පැවසූ බව වාර්තා වන්නේ.
බීබීසීයේ කොරියාවේ වාර්තාකරු ස්ටීව් ඉවාන්ස් පවසන්නේ උතුරුකොරියාව විසින් සෝල් පාලනය කුපිත කිරීමට නිරතුරු කටයුතු කරන ආකාරයටම දකුණු කොරියාවද පියොන් යැන් පාලනයේ රුධිරය උණුසුම් කරවන ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
උතුරු කොරියාව හුදකලා කිරීම තුළින් කිම් ජොන් උන් ගේ න්‍යෂ්ඨික අවි පිලිබඳ අරමුණු පරාජය කිරීමට දකුණු කොරියාව ගන්නා උත්සාහය පිළිබඳව එරට තුළින්ම විවේචන එල්ල වෙමින් පවතින බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.
සිකුරාදා උතුරු කොරියානු න්‍යෂ්ඨික අත්හදා බැලීමෙන් පසු දකුණු කොරියාවේ සැලසුම පාර්ලිමේන්තුවට එළිදැක්වී තිබෙන බවයි විශ්වාස කරන්නේ.
මේ අතර උතුරු කොරියාව සඳහා වූ ඇමරිකාවේ විශේෂ නියෝජිතයා පවසන්නේ පියොන් යැන් පාලනයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වොෂින්ටනය සලකා බලමින් සිටින බවයි.
"උතුරු කොරියාව නොකඩවා මෙම කළාපයට සහ අපේ හිතවාදීන්ට වගේම අපිටත් තර්ජනයක් වෙමින් පවතිනවා. එනිසා එම තර්ජනය හමුවේ ආරක්ෂා වීම සඳහා හැකි සැම පියවරක්ම අපි ගන්නවා" යනුවෙනුයි විශේෂ නියෝජිත කිම් සුන් පැවසුවේ.
ඒ සමගම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක වලට අමතරව ඇමරිකාව සහ ජපානය දකුණු කොරියාව ද සමග එක්ව බහු පාර්ශ්වික සොයා බැලීම්, දිවි පාර්ශ්වික විසඳුම් මෙන්ම ත්‍රි පාර්ශ්වික සහයෝගීතාව යොදා ගැනීම පිළිබඳව සොයා බලනු ඇති බවයි ඔහු පැවසුවේ.
2006 වසරේ සිදුකරන ලද න්‍යෂ්ඨික අත්හදාබැලීම් වලින් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට කිසිම ආකාරයක න්‍යෂ්ඨික අත්හදා බැලීම් කිරීමට සහ මිසයිල තාක්ෂණය තහනම් කොට ඇති අතර සම්බාධක පහක් පනවා ඇත.
නවතම න්‍යෂ්ඨික අත්හදා බැලීමේ දී උතුරු කොරියාව යොදාගත් පුපුරණ ද්‍රව්‍ය වල ප්‍රමාණය කිලෝ ටොන් දහයක් වන අතර උතුරු කොරියාවෙන් සිදුකළ විශාලතම අත්හදා බැලීම බවයි දකුණු කොරියාව පවසන්නේ.
එහෙත් වෙනත් විශේෂඥයන් පවසන්නේ එම ප්‍රමාණය කිලෝ ටොන් 20 ක් වියහැකි බවයි.
1945 දී හිරෝෂිමාවට දැමූ බෝම්බයේ අඩංගුව තිබුණේ කිලෝ ටොන් 15 ක පුපුරණ ද්‍රව්‍ය පමණක් බවයි සඳහන් වන්නේ.