ඩකා ප්‍රහාරය: 'මරුමුවට පත් සියලු දෙනාම විදේශිකයන්'

බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍යතාන්ත්‍රිකයන් වෙසෙන ප්‍රදේශයේ ආපන ශාලාවකට තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට හසු වී මරුමුවට පත් විසි දෙනාම විදේශිකයන් බව එරට බලධාරීහු පවසති.

'Holey Artisan Bakery' නමැති ආපන ශාලාවට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ දහතුන් දෙනකු ආරක්ෂක අංශ විසින් බේරා ගත් බවයි හමුදා ප්‍රකාශකයකු කියා සිටියේ.

ආරක්ෂක අංශ විසින් එහි සිටි ප්‍රහාරකයන් හය දෙනකු මරා දැමූ බවත් ඔහු සඳහන් කළේය.

අයිඑස් සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබ ඇති අතර ප්‍රහාරකයකු බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට පත් වී තිබේ.

ප්‍රාණ ඇපයේ සිට බේරා ගනු ලැබූ ඉහත කී පිරිස අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ද සිටින බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති.

මරුමුවට පත් පිරිසෙන් වැඩි දෙනකු ජපාන සහ ඉතාලි ජාතිකයන් බවයි වාර්තා වන්නේ.