ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රට එකමුතු කළ යුතුයි - බ්‍රිතාන්‍ය අගමැති කැමරන්
යුරෝපා සංගමය සම්බන්ධ ජනමත විචාරණයෙන් අනතුරුව "රට එකමුතු කිරීමේ මූලික වගකීමක්" ආණ්ඩුවට තිබෙන බව අගමැති ඩේවිඩ් කැමරන් මන්ත්‍රීවරුන් හමුවේ පැවසීය.
බ්‍රහස්පතින්දා පැවැත්වුණු ජනමත විචාරණයෙන් අනතුරුව පළමුවරට පාර්ලිමේන්තුව ඇමතූ අගමැතිවරයා, යුරෝපයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය සාකච්ඡා කිරීම දශක කිහිපයක් ඇතුලත රටේ සිවිල් සේවය වෙත පැවරුණ සංකීර්ණම සහ වැදගත්ම කාර්යභාරය බවත් පැවසීය.
යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට බ්‍රිතාන්‍යවාසීන් එළැඹුණු තීරණය රටේ අනාගතය උදෙසා යහපත්ම ප්‍රතිඵලය නොවන බව අගමැතිවරයාගේ මතයයි.
කෙසේ නමුත් ජනතාවගේ තීන්දුවට ගරු කොට එය වඩා යහපත් ලෙසින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඩේවිඩ් කැමරන් පැවසීය.
ලබන ඔක්තෝබර් මාසය වන විට පදවියෙන් ඉල්ලා අස් වන බව අගමැතිවරයා පසුගිය සිකුරාදා නිවේදනය කළේය.
"නින්දිත" ජාතිවාදී ප්‍රහාර
යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය ආරම්භ කළ යුත්තේ කෙදිනද යන්න තීරණය කිරීම අලුතෙන් පත්වන අගමැතිවරයා සතු කාර්යයක් බවත් ඔහු පැවසීය.
"ජර්මනියේ චාන්සලර් අන්ගෙලා මර්කල්, ප්‍රංශ ජනාධිපති ඔලොන්ද් ඇතුළු යුරෝපා නායකයන් ගණනාවක් සමඟ පසුගිය දින කිහිපයේ මම කතා කළා," ඔහු පැවසීය.
"සාකච්ඡා සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවය අපි කතා කළා. යුරෝපය සමඟ පවත්වන අනාගත සම්බන්ධතාවය කවරක්ද යන්න අපි මුලින්ම තීරණය කළ යුතුයි. නමුත් එය තීරණය කළ යුත්තේ අනාගත අගමැතිවරයා."
යුරෝපා අසල්වැසියන් සමඟ ශක්තිමත් ආර්ථික සම්බන්ධතා පවත්වා ගැනීම බ්‍රිතාන්‍යයේ බලාපොරොත්තුව බවත් අගමැති ඩේවිඩ් කැමරන් පැවසීය.
මේ අතර පාර්ලිමේන්තුව ඇමතූ ලේබර් පක්ෂයේ සහ විපක්ෂයේ නායක ජෙරමි කෝබින්, 'අභ්‍යන්තර කල්ලිවාදී ප්‍රවණතාවයන්' පිළිබඳව සිය පක්ෂයට මෙන්ම කොන්සර්වේටිව් පක්ෂයටද අනතුරු ඇඟවීය.
අගමැතිවරයා පදවියෙන් ඉල්ලා අස්වීම නිවේදනය කිරීමත් සමඟම පක්ෂයෙන් නව නායකතත්වයට තරඟයක් මතු වූ තිබෙන අතර, ජෙරමි කෝබින්ට එරෙහිව ඔහුගේ ඡායා කැබිනෙට්ටුවේ කැරැල්ලක් මතු වී තිබේ.
යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රචාරක ව්‍යාපාරය තුලදී තමන් මතු කළ අනතුරු ඇඟවීම් ඉල්ලා අස් කර නොගන්නා බව පැවසූ අගමැති කැමරන්, "අභියෝගාත්මක නව සාකච්ඡා" සමඟ ඉදිරියට යාම ඉතා දුෂ්කර කරුණක් වනු ඇති බවත් පැවසීය.
ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව රටේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ "නින්දිත" ජාතිවාදී ප්‍රහාර අගමැතිවරයා දැඩිව හෙලා දුටුවේය.
දිගටම යුරෝපා සංගමයේ රැඳී සිටීම වෙනුවෙන් තවදුරටත් සටන් කරන බවයි ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ටිම් ෆැරන් මේ අතර පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ.