89 කැරැල්ලේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු එක්සත් ජාතීන් හමුවට

"එක්නැලිගොඩ, තජුදින් සිදුවීම් වගේම මගේ මහත්තයා ගැනත් සොයන්න කියල මම බලධාරීන්ගෙන් ඉල්ලනවා, කොටියාගේ කටට යන්න උනත් මම මේ සම්බන්ධයෙන් සටන් කරනවා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "එක්නැලිගොඩ, තජුදින් සිදුවීම් වගේම මගේ මහත්තයා ගැනත් සොයන්න කියල මම බලධාරීන්ගෙන් ඉල්ලනවා, කොටියාගේ කටට යන්න උනත් මම මේ සම්බන්ධයෙන් සටන් කරනවා"

බලහත්කාර අතුරුදහන් කර වීම් පිළිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිස 89 කැරැල්ලේදී අතුරුදහන් වූවන් ඇතුළු දකුණේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් හමු වූහ.

එහිදී හුවමාරු වූ අදහස් පිළිබඳ මාධ්‍යයට කරුණු දැක්වීමෙන් වැලකි සිටින ලෙස නියෝජිත පිරිස තමන්ගෙන් ඉල්ලා සිටි බවයි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් පිටතට පැමිණි ඥාතීන් කියා සිටියේ.

නමුත් එහි සිට පිටතට පැමිණි ඥාතීන්ගෙන් ඇතැමෙක් මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

මාධ්‍යයට පවසා සිටීමට නොහැකි තරම් රහස් යමක් එහිදී සාකච්ඡා නොවුනු බවයි අනුරාධපුරයේදී වසර දෙකකට පෙර අතුරුදහන් වූ තම සැමියා වෙනුවෙන් එහි පැමිණ සිටි මයුරු ඉනෝකා ජයසේන දෙදරු මව කියා සිටියේ.

"එක්නැලිගොඩ, තජුදින් සිදුවීම් වගේම මගේ මහත්තයා ගැනත් සොයන්න කියල මම බලධාරීන්ගෙන් ඉල්ලනවා, කොටියාගේ කටට යන්න උනත් මම මේ සම්බන්ධයෙන් සටන් කරනවා"

1989 වසරේදී අතුරුදහන් වූ තම ස්වාමි පුරුෂයා සහ සහෝදරයන් දෙදෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන මෙන් එහි ගොස් සිටි එස්එම් ප්‍රේමසිලී පැවසුවාය.

''මහත්තයයි, මගේ සහෝදරයෝ දෙන්නයි සියලු දෙනා අතුරුදහන් කළා. අපි සේරම අරන් ගිහින් මාවත් නොමරා මරා එව්වා. මගේ මහත්තයා ගිනිහින් මරලා තියෙන්නේ ගෙනිච්ච කෑම්ප් එකෙනුත් නෙමෙයි. වෙන කෑම්ප් එකකට දීලා අතමාරුවකට.අපේ හිතේ තියන දුක තමයි අපි ඒ මිනිස්සුන්ට කියන්නේ. වෙන දෙයක් නෙවෙයි'' ඇය වැඩිදුරටත් කියා සිටියාය.

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව මෙවර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 15 කට පසු පළමු වතාවටයි.