දේශපාලනය හරහා නිවන් මගට

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තරඟ වැද සිටින්නේ මෑතකදී පිහිටුවා ගත බොදු ජන පෙරමුණෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තරඟ වැද සිටින්නේ මෑතකදී පිහිටුවා ගත බොදු ජන පෙරමුණෙන්

පාලක සන්ධානය, විපක්ෂය සහ නව දේශපාලන පක්ෂ නියෝජනය කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් මෙවරත් මහ මැතිවරණයට තරඟ වදිති.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ භික්ෂූන් වහන්සේ වන බද්දේගම සමිත හිමියෝ මෙවරද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදිති.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින එහිමියන් ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකි.

බද්දේගම සමිත හිමියන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේයි
ඡායාරූප ශීර්ෂ වැකිය, බද්දේගම සමිත හිමියන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේයි

ජාතික හෙළ උරුමයේ සභාපති සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක පදවිය දැරූ අතුරලියේ රතන හිමියන් මෙවර මැතිවරණයට තරඟ නොකරන නමුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීම එහිමියන්ගේ බලාපොරොත්තුවයි.

ජාතික හෙළ උරුමය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉරිදා අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුව එහිමියෝද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුලත්ව සිටිති.

වටරැක විජිත හිමියන් බොදු බල සේනා සංවිධානයේ තර්ජනයට සහ තදබල විවේචනයට ලක් වූ භික්ෂූන් වහන්සේ නමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, වටරැක විජිත හිමියන් බොදු බල සේනා සංවිධානයේ තර්ජනයට සහ තදබල විවේචනයට ලක් වූ භික්ෂූන් වහන්සේ නමක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මෙවර මහ මැතිවරණ තරඟයට අලුතෙන් එක්වන බෞද්ධ භික්ෂුවක්.

එහිමියන් තරඟ වදින්නේ මෑතකදී පිහිටුවා ගන්නා ලද බොදු ජන පෙරමුණෙන්.

බොදු බල සේනා සංවිධානයේ තර්ජනයට සහ තදබල විවේචනයටත් ලක් වූ වටරැක විජිත හිමියෝ ද මහ මැතිවරණයට එක් වී සිටිති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට විරෝධය පළ කරමින් මුලින්ම සන්ධානයෙන් ඉල්ලා අස් වුනේ අතුරලියේ රතන හිමියන්
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට විරෝධය පළ කරමින් මුලින්ම සන්ධානයෙන් ඉල්ලා අස් වුනේ අතුරලියේ රතන හිමියන්

කොළඹ දී විජිත හිමියන් සංවිධානය කර තිබුණු මාධ්‍ය සාකච්ඡාවකට කඩා වැදුන බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් තර්ජනය කොට එම මාධ්‍ය සාකච්ඡාව කඩාකප්පල් කර දැමූහ.

ඉන් අනතුරුව දිනෙක රාත්‍රියේ පැහැර ගැනීමට ලක්වුණ විජිත හිමියන්, කපා කොටා සිහිසුන්ව මහ මඟ දමා ගොස් තිබුණි.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රබල ආධාරකරුවකු වන ඌවතැන්නේ සුමන හිමියෝ මෙවර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ වදිති.

රතුපස්වල වාසීන්ට පිරිසිදු පානීය ජලය ඉල්ලා උපවාසයක යෙදී සිටින තෙරිපැහැ සිරිධම්ම හිමියෝ
ඡායාරූප ශීර්ෂ වැකිය, රතුපස්වල වාසීන්ට පිරිසිදු පානීය ජලය ඉල්ලා උපවාසයක යෙදී සිටින තෙරිපැහැ සිරිධම්ම හිමියෝ

2010 දී ජනපතිවරණයේ දී ජනරාල් සරත් ෆොන්සේකා ගේ මැතිවරණ ව්‍යාපාරයට ආධාර කිරීමෙන් අනතුරුව ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ එහිමියෝ මාස ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියහ.

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාව වෙනුවෙන් අරගලයක යෙදී සිටින තෙරිපැහැ සිරිධම්ම හිමියන් මෙවර මහ මැතිවරණයට එක් වී සිටින තවත් භික්ෂූන් වහන්සේ නමක්.