රටද පක්ෂයද? තීරණය මෛත්‍රී අතේ - අර්ජුන
එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන ඉඩ දෙන්නේ නම් එය ජනවාරි 8 වැනිදා ලබාගත් ජනවරමට ද්‍රෝහී වීමක් බව ශ්‍රීලනිපය නියෝජනය කරන අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග පවසයි.
හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගන්නා තීරණයෙන් එදා ඔහුට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඔහු වෙත තැබූ ගෞරවය හා විශ්වාසය ඇති කිරීමට මෙන්ම නැතිකිරීමටද හැකි බව අමාත්‍යවරයා කියා සිටියේ බීබීසීයේ අසාම් අමින් සමග සාකච්ඡාවකට එක් වෙමින්.
‘මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමායි ඒ කල්ලියයි නැවත ගෙනාවොත් එතුමාටත් ඔය ජනාධිපති පුටුවේ වැඩිකල් ඉන්න ඒගොල්ලෝ ඉඩ තියන්නේ නැහැ, එතුමාගේ ජීවිතයට පවා තර්ජනයක්, ඒ විතරක් නෙවෙයි අපි රාජිතලා, දුමින්ද දිසානායකලා, හිටපු ජනාධිපතිතුමිය ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වුනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව විශ්වාස කරලා. ඉතින් එතුමාට ඒ විශ්වාසය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් මේ ඡන්දෙදී’ ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම රට තුළ නැවත ජාතිවාදයක් ඇති වන ආකාරයට දේශපාලනය කරමින් සිටින බව පැවසූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා එවන් කණ්ඩායමක් සමග මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එක්ව දේශපාලනය කළ නොහැකි බවයි කියා සිටියේ.
'ශ්‍රීලනිපය දෙකඩ වුනත්'
‘මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. එතුමාට ඕන වෙලා තියෙනවා පක්ෂය ආරක්ෂා කර ගන්න. හැබැයි මම හිතන්නේ පක්ෂයක් ආරක්ෂා කරනවාට වඩා රට ආරක්ෂා කරන එක වැදගත් කියලා’ අමාත්‍යවරයා පැවසීය.
හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වුවත් ඒ දෙකඩ වීම සිදු වන්නේ ''හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු'' අතර බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
‘මහජනතාව අපි දෙගොල්ල පරද්දල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදුවයි කිව්වත් අඩු ගානේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට රටේ ගෞරවයක් තියෙයි හොරු දූෂකයන් අයින් කරලා පැරදිච්ච නායකයෙක් කියලා’ ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ විය යුත්තේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම නොවේදැයි විමසුවිට අමාත්‍යවරයා පැවසුවේ නිදහස් පක්ෂයේ අරමුණ විය යුත්තේ එය වුවත් ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා හොරුන් හා දූෂිතයන් එක් කර ගැනීම රටට හානිදායක බවයි.
යම් හෙයකින් හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට නාම යෝජනා ලබා දුනහොත් තමන් තවදුරටත් පක්ෂයේ රැඳී සිටින්නේ දැයි යන්න පිළිබඳ දැඩි තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.