විශ්වාස භංගය: 'දෙන්නෙක් දෙපාරක් අත්සන් කරලා'

ඡායාරූප මූලාශ්‍රය, Manusha Nanayakkara

    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, බීබීසී

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු දෙවරක් අත්සන් තැබීම නිසාත් දෙතැනක ‘අංක පැනීමක්’ සිදු වී ඇති නිසාත් විශ්වාස භංගයට ලැබී ඇත්තේ අත්සන් 108ක් පමණක් බව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පවසයි.

පසුගිය දා කථානායකවරයාට භාර දුන් විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් 112 ක් අත්සන් තැබූ බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර බීබීසීයට පැවසූ නමුත්, එයට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් 105 ක් පමණක් බවයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කොට තිබුණේ.

'නොදැනුවත් කමින්'

‘මන්ත්‍රීවරු දෙදෙනෙක් නොදැනුවත් කමින් දෙපාරක් තැන් දෙකක අත්සන් කර තිබුනා. ඒ වගේම තැන් දෙකක අංක පැනීමක් තිබුනා. ඒ නිසා නිශ්චිතවම අත්සන් 108යි මේ විශ්වාස භංගයේ තියෙන්නේ.’ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසීය.

දැඩි බලපෑම් එල්ල වීම නිසා මෙම ලේඛනයට අත්සන් ලබා ගැනීම ඉතා රහසිගතව සිදු කෙරුණු හෙයින් මෙම පටලැවිල්ල සිදු වී ඇති බවයි ඔහු පවසන්නේ.

‘පෙත්සමක්’

එයට අත්සන් තැබීමෙන් අනතුරුව ඇමති පදවි ලබා ගත් ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගැනීම සඳහා මෙම විශ්වාස භංගය ‘පෙත්සමක්’ ලෙස හුවා දක්වන බවද මන්ත්‍රීවරයා බීබීසීයට පැවසීය.

කෙසේ වෙතත් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඊට ‘අත එසවීමට’ මන්ත්‍රීවරුන් 120ක් පමණ සුදානමින් සිටින බව ඔහු ප්‍රකාශ කරයි.