'අපේ සහයෝගය වැරදියට පාවිච්චි කරනවා' - මහින්ද යාපා
අශාම් අමීන්
කොළඹ වාර්තාකරු
ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව ඇමති පදවි භාර ගනු ලැබුනත් එක්සත් ජාතික පක්ෂය සිය සහයෝගය ලබා ගන්නා අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හිරිහැර කරන හෙයින් තමන් දැරූ පදවි වලින් ඉවත් වන බව අද (21) සිය ඇමති පදවිවලින් ඉල්ලා අස් වූ ඇමතිවරු පවසති.
සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැඳවුන මාධ්‍ය හමුවක දීයි ඔවුන් එම අදහස පළ කළේ.
පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, පරිසර කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක හා නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන හතර දෙනායි ඉල්ලා අස් වූ කණ්ඩායම වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පසුගිය මාර්තු මාසයේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිහය දෙනකු ආණ්ඩුවේ ඇමති පදවි භාර ගත් අතර ඔවුන් අතරින් අද (21) ඉවත්ව ගිය කණ්ඩායම පවසන්නේ ‘ජාතික ආණ්ඩුවක්’ ලෙස ක්‍රියා නොකරන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තුළ ගෙන යන දුර්දාන්ත වැඩ පිළිවෙල සමඟ එකඟ විය නොහැකි බවයි.
අගමැතිගේ බලපෑම්
‘අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීම මතයි අමාත්‍ය පදවි භාර ගත්තේ. නමුත් එක්සත් ජාතික පක්ෂය කරන්නේ අපේ සහයෝගය අරගෙන අපේ පාක්ෂිකයන්ට හිරිහැර කරන එකයි. අපට එය බලා ගෙන ඉන්න බැහැ’ පදවියෙන් ඉවත් වූ මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා පවසයි. වර්තමානයේ රට තුල ඇතිවී තිබෙන තත්වයට විසඳුම ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම බවයි මහින්ද යාපා අබේවර්ධන හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉල්ලා අස් වූ ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ආකාරය දැඩි ලෙස විවේචනය කරන ලද අතර, ඔහු අගමැතිවරයා විග්‍රහ කළේ ‘පොලිස්පතිටත් ඉහළින් සිටින පොලිස්පතිවරයකු’ හැටියටයි.
එජාපය පැරදවීම
පදවිවලින් ඉවත් නොවී තවදුරටත් රජයේ රැඳී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් රජය තුල සිට සටන් කර විසි වැනි සංශෝධනය වැනි නීති සම්මත කර ගැනීමට උත්සාහ කරන බවයි ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
‘මේ සටන ආණ්ඩුව ඇතුළෙ ඉඳල කරන්න බැහැ කියන මතයේ තමයි අපි ඉන්නේ, මොකද සෑම දෙයක්ම කඩාකප්පල් කරන තැනක තමයි රනිල් වික්‍රමසිංහ ඉන්නේ’ පදවියෙන් ඉවත්ව යන ඇමතිවරයා කියා සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකට එකතු කර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කිරීමට කටයුතු කරන බවයි ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.








