අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි'

ඡායාරූප මූලාශ්‍රය, JVP Media
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වඩාත් ස්වාධීන සහ අපක්ෂපාතී පත්වීම් සිදු කිරීම සඳහා අවස්ථාව සලසා දෙනු පිණිස කැමැත්තෙන් සිය ධුරවලින් ඉල්ලා අස් වන මෙන් පුරවැසි බලය සිවිල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු විනිසුරුවරියන්ගෙන් ඉල්ලා සිටියි.
නව ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමග රාජ්‍ය යන්ත්‍රණය පිරිසිදු කොට ස්වාධීන කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු කේ ඩබ්ලිව් ජනරංජන කියා සිටියේ.
රට තුළ නව ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් ඇති වෙතැයි යන බලාපොරොත්තුවෙන් එසේ ඉල්ලා සිටින බව ඔහු පැවසුවේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.
‘කරුණාකරලා තමන් ඉල්ලා අස් වෙලා ධුර වලින් නැවත වාරයක් දහනව වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ වඩා ස්වාධීන, වඩා අපක්ෂපාතී පත් කිරීම් සඳහා අවස්ථාවක් සලසලා දෙන්න. මොකද ඒක ඒ අයටත් හොඳයි, රටේ අධිකරණයේ ස්වාධීනත්වයට හොදයි කියලා අපි විශ්වාස කරනවා’ මාධ්‍යවේදී කේ ඩබ්ලිව් ජනරංජන පැවසීය.
දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම අභිමතය පරිදි පත්වීම් සිදු කොට ඇති බවත් ඔහු සඳහන් කළේය.
'සමීප මිත්‍රයෙක්'
‘උදාහරණයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරපු විනිශ්චය මණ්ඩලයේ හිටපු ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය, පුවත්පතකට දීපු සම්මුඛ සාකච්ඡාවකදී පිළිගෙන තිබෙනවා ජනාධිපතිතුමා තමාගේ ඉතාම සමීප මිත්‍රයෙක් කියලා’ ඔහු කියා සිටියේය.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඥාතිත්වය සලකා නඩුවට ඉදිරිපත් නොවී ඉන් ඉවත් වීමට අදාළ විනිසුරුවරියට අවස්ථාව තිබුණු බවත් කේ ඩබ්ලිව් ජනරංජන පැවසුවේය.
‘දැන් මේ නඩුවේදීම බුවනෙක අලුවිහාරේ විනිශ්චයකාරතුමා ගෞරවනීය විදිහට නඩු විභාගෙන් ඉවත් වුණා. මේ වගේ සැකසංකා සාමාන්‍ය ජනතාව තුළ තිබෙනවා. අපි අහල තියනවා යුක්තිය ඉටු විය යුතුවා පමණක් නෙවෙයි ඉටු වන බව පේන්න තියෙන්නත් ඕනි’ ඔහු සඳහන් කළේය.
කිසියම් පිරිසකගේ අවශ්‍යතාවය මත පුරවැසි බලය සංවිධානය මෙම ඉල්ලීම කරනු ලබන්නේ දැයි සංදේශය කළ විමසීමේදී කේ ඩබ්ලිව් ජනරංජන කියා සිටියේ තම සංවිධානයට අවශ්‍යව ඇත්තේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන කිරීමට පමණක් බවයි.








