සාමය තුළ සිදු කෙරෙන වධ හිංසා ගැන වාර්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, freedomfromtorture.org
මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරයාට ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින වධ හිංසාවන් සම්බන්ධයෙන් නිදහස් සහ කිසිදු සීමාවකින් තොර ව මැදිහත් වීමට අවස්ථාව ලබා දෙන මෙන් වධ හිංසාවන්ට එරෙහි ජාත්‍යන්තර සංවිධානයක් ඉල්ලීමක් කරයි.
බ්‍රිතාන්‍යය මූලස්ථාන කරගත් වෛද්‍ය ශුභාසාධක වැඩපිළිවෙලක් වන ‘වධ හිංසාවෙන් මුක්තිය ’ (Freedom From Torture) සංවිධානය කියා සිටින්නේ,හදිසි කාර්යයක් ලෙස සලකමින් නව මහ කොමසාරිස් සයීඩ් රාඩ් අල්-හුසේන්ට ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින වධ හිංසාවන් සම්බන්ධයෙන් ඔහු සිදු කරන පරීක්ෂණ වලට නිදහස් අවස්ථාවක් දිය යුතු බවයි.
‘වධ හිංසාවෙන් මුක්තිය ’ (Freedom From Torture) සංවිධානය විවිධ රටවල වධ හිංසාවන්ට ගොදුරු වෙන ජනයාට මානසික ප්‍රතිකාර ඇතුළුව වෙනත් පහසුකම් සපයන දහසකට අධික සායන පවත්වා ගෙන යන ලෝකයේ විශාලතම පුනරුත්ථාපන ආයතනයකි.
ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණය සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලයට තොරතුරු ඉදිරිපත් කිරීමට නව මහ කොමසාරිස්වරයා සූදානම් වෙමින් සිටිය දී ප්‍රකාශයක් කරන ‘වධ හිංසාවෙන් මුක්තිය’ වෛද්‍ය ශුභ සාධක සංවිධානය, 2009- 2013 අතර පශ්චාත් යුද සමයේ සිදු කෙරුණ වධ දීම් හතළිහක් පිළිබඳව පසුගිය මාස අටක කාලය ඇතුළත සිය වෛද්‍යවරුන් විසින් හෙළිදරව් කර ගනු ලැබ ඇතැයි අනාවරණය කරයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
‘වධ හිංසාවෙන් මුක්තිය’ මෙයින් පෙරත් ශ්‍රී ලංකාවේ වධ හිංසා සම්බන්ධයෙන් දත්ත තොරතුරු ප්‍රකාශයට පත් කරන ලද සංවිධානයක් වන අතර, 2009 යුද්ධය නිම වීමෙන් පසුව සිදු කෙරුණ වධ හිංසා පැමිණවීම් ගැන වෛද්‍ය විද්‍යාත්මක සාධක ද සහිතව එම සංවිධානය විසින් වාර්තා කර ඇති සිදුවීම් සංඛ්‍යාව 160 ක් බවට පත් වෙයි.
‘අනුමානය මත වධ හිංසා’
එලෙස වධ හිංසාවන්ට ලක් කරනු ලැබූවන්ගෙන් අති බහුතරය දෙමළ ජාතිකයන් වන බව පෙන්වා දෙන වෛද්‍ය ශුභ සාධක සංවිධානය, කොටි සංවිධානයේ සාමාජිකයන් වීම හෝ එහි සාමාජිකයන් යයි අනුමාන කිරීම මත, එසේම කොටි සංවිධානයේ සාමාජිකයකු අයත් පවුලක සාමාජිකයකු වීම පුද්ගලයන් එවැනි වධ හිංසාවන්ට ගොදුරු වීමට හේතු වී ඇති බවයි කියා සිටින්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Freedom from torture
ඉහත කී වධ හිංසාවන් 160 න් 35ක් 2012 සහ 2013 වසරවල අත්අඩංගුවේ දී සිදු කොට ඇති වධ හිංසාවන් යයි පවසන ‘වධ හිංසාවෙන් මුක්තිය’ වෛද්‍ය ශුභ සාධක සංවිධානය 2012 මෙන්ම 2013 වසරේත් තම සහයෝගය වැඩියෙන් ම පතා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිද්ධීන් සම්බන්ධයෙන් බවත් පවසයි.
‘ශ්‍රී ලංකාවේ දිගින් දිගට සිදු කෙරෙන වධ හිංසාවන්ට ගොදුරු වූවන් අපේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරනු ලබනව. එවැනි වධ හිංසාවන්ට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීමේ දී ඔවුන් හුස්ම හිර කිරීම සහ ලිංගික වධ හිංසා දීම ඇතුළු නිරන්තරයෙන් යොදා ගනු ලබන වධ හිංසා ක්‍රම නිසා ශාරීරික සහ මානසික ආබාධවලට ලක් වූවන් වන බව පෙනී යනවා. බලධාරීන්ට මතු දවසක හඳුනා ගත හැකි වන මට්ටමින් රත් කරන ලද යකඩ කූරුවලින් හණ ගැසීම නිසා ඇති වූ තුවාල ඔවුන්ගේ ශරීරවල දක්නට ලැබෙනවා’ සංවිධානයේ වෛද්‍යවරුන්ගේ ප්‍රධානී දොස්තර ජුලියට් කොහෙන් පවසන්නීය.
යුද්ධයෙන් පසුවත්
සිවිල් යුද්ධය නිමා වී වසර පහකට ආසන්න කාලයක් ගත වී ඇතත් ශ්‍රී ලංකාව තුළ වධහිංසා පැමිණවීම් තවමත් සිදු කෙරෙන ආකාරය සිය සංවිධානයේ වෝහාරික වාර්තාවලින් පෙන්නුම් කෙරෙන බවයි දොස්තර ජුලියට් කොහෙන් කියා සිටින්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AHRC
එම තත්වය නොතකා හැරිය නොහැකි බව කියා සිටින දොස්තර ජුලියට් කොහෙන්, ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ මානව හිමිකම් උල්ලංඝනය කරනු ලැබීම් සහ යුද්ධයේ අන්තිම අදියරේ දී සිදු කෙරුණ යුද අපරාධ විය හැකි ක්‍රියා පිළිබඳ වගකීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගේ විභාගයක් පැවැත්වෙන අතරවාරයේ අදත් සිදු වෙමින් පවතින අපචාර පිළිබඳ යථා තත්වය සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර ප්‍රජාව අවධානය යොමු කළ යුතුව ඇති බවත් පෙන්වා දෙන්නී ය.
එවැනි පසුබිමක් යටතේ අතීතයේ සිදු වූ දේවල් ද ඇතුළුව විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ අදත් සිදු වෙමින් පවතින වධ හිංසාවන් කෙරෙහි ද අවධානය යොමු කිරීම සඳහා බාධාවකින් තොරව මැදිහත් වීමට අවශ්‍ය අනුමැතිය නව කොමසාරිස්වරයාට ලබා දෙන ලෙසයි, ‘වධ හිංසාවෙන් මුක්තිය ’ (Freedom From Torture) සංවිධානය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




