ඉඩම් අත්පත් කර ගැනීම 'හමුදාවේ බලය පෙන්වීමක්'

හමුදාවට ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව යාපන වැසියෝ දැඩි විරෝධය පළ කරති
ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදාවට ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව යාපන වැසියෝ දැඩි විරෝධය පළ කරති
    • Author, දිනසේන රතුගමගේ
    • Role, වවුනියාවේ සිට

දෙමළ වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිය බලය පෙන්වීමට උත්සාහ කරන බවට දෙමළ ජාතික සන්ධානය ආරක්ෂක හමුදාවට චෝදනා කරයි.

යාපනය කීරිමලේ ප්‍රදේශයේ සාමන්‍ය වැසියන්ට අයත් තවත් ඉඩම් අක්කර තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවට පවරා ගැනීම පිණිස එම පළාතේ දැන්වීම් ඇලවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පළ කරමිනුයි, උතුරු පලාත් සභා මන්ත්‍රී එම්කේ ශිවාජිලිංගම් සංදේශයට ඒ බව කියා සිටියේ.

යාපනය අර්ධද්වීපයේ වැසියන්ට අයත් ඉඩම් අක්කර හය දහස් හාරසීයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යුද හමුදාව අත්පත් කර ගෙන ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඉඩම් හමුදාවට පවරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට සහ ඉඩම් අහිමි වන ජනතාවට කළ හැක්කේ රජයට සහ යුද හමුදාවට විරෝධය පළ කිරීම පමණක් බව පවසන මන්ත්‍රීවරයා, සාධාරණ තීන්දුවක් ලැබෙන තුරු ඒ වෙණුවෙන් සටන් කරන බව අවධාරණය කරයි.

'බිරිඳ මරා දමලා'

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශ කළේ යුද හමුදාව කිසි විටෙකත් උතුරේ වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන නොමැති බවයි.

රජය හමුදාවට ලබා දුන් ඉඩම් 'සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් නොවේ'

ඡායාරූප මූලාශ්‍රය, pccsl.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, රජය හමුදාවට ලබා දුන් ඉඩම් 'සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් නොවේ'

යුද හමුදාවේ අවශ්‍යතාවයන් උදෙසා රජයෙන් ඉල්ලීමක් කළ විටදී, රජය විසින් නීත්‍යාණුකූලව පවරා ගෙන ඇති ඉඩම් යුද හමුදාවේ ප්‍රයෝජනයට ලබා දෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

රජය විසින් හමුදාවට ලබා දුන් ඉඩම් සාමාන්‍ය වැසියන්ට අයත් නොවන බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය රටේ සංවර්ධනය වෙණුවෙන් ඕනෑම රජයක් මෙවැනි තීරණ ගන්නා බවද පෙන්වා දුන්නේය.

මේ අතර සිය බිරිඳ යුද හමුදා සේවයට එක්වීම ගැන උරණ වූ සැමියෙකු ඉරිදා දහවල් ඇය කපා කොටා ඝාතනය කොට ඔහුද ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් කිලිනොච්චියේ වල්ලිපුනම් ගම්මානයෙන් වාර්තා වේ.

මියගිය අරුල් රාජ් ජෙයකුමාරීගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය රෝහලේදී පැවැත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් ශිවරූබන් වෙත සාක්කි දුන් මියගිය අයගේ ඥාතීන් පවසා ඇත්තේ බිරිඳ යුද හමුදා සේවයට එක්වීම ගැන උදෑසන සිටම නිවසේ බහින්බස්වීම් සිදුවුණු බවයි.