පරීක්ෂණ යටපත් කරන්න එපා- එජාප ආධාරකරුවාගේ බිරිඳ

 එස්. එම්. හේමමාලි
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතික පක්ෂ ආධාරකරු ඕ කේ පියසේන ගේ බිරිඳ වන එස්. එම්. හේමමාලි

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු බව කියන ඕ කේ පියසේන ගේ මරණය පිළිබඳව පරීක්ෂණ යට ගැසීමට ඉඩ නොදෙන්නැයි ඔහුගේ බිරිඳ වන එස්. එම්.හේමමාලි ඉල්ලා සිටී.

රැස්වීමක ප්‍රචාරක කටයුතු කරමින් සිටිය දී තමන්ගේ අධාරකරුවෙකු වන ඕ.කේ පියසේනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාලයක් පවත්වා ගෙන යන පුද්ගලයකු පහර දුන් බව බස්නාහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන හර්ෂන් රාජකරුණා අප වාර්තා කරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්නට කියා සිටියේය.

දොම්පේ කිඹුල්විල්වත්ත ප්‍රදේශයේදී සිදුවූ මෙම ගැටුමට හවුල් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් මේ තාක් අත්අඩංගුවට ගෙන නැති බවයි හර්ෂන් රාජකරුණා කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු බව කියන ඕ කේ පියසේන
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතික පක්ෂ ආධාරකරු ඕ කේ පියසේන

සිව්‍ දරු පියෙකු වන ඕ.කේ පියසේන ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටි අතර මරණ පරීක්ෂණය හෙට (බදාදා) පැවැත්වීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ,මීගමුව, දිවුලපිටිය,ආදි ප්‍රදේශවල බරපතල ආකාරයකට මැතිවරණ නීතී කඩවෙන අකාරය තමන් මීට පෙර අවධාරණය කොට ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය කියා සිටී.

මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගැනීම සඳහා පොලීසිය සාධාරණ ලෙස මැතිවරණ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය පෙනේවා දෙයි.