
හමුදාකරණයේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවේ හමුදා ආණ්ඩුවක් සූදානම් වීමක් දැයි සැක මතුවන බව එජාපය පවසයි
ජනාධිපති කොමිසමක නිර්දේශ සම්බන්ධයෙන් නැවත යුද හමුදා මතය විමසීම මගින් ආණ්ඩුව ජාත්‍යන්තර බලවතුන් හමුවේත් රට හමුවේත් දුන් පොරොන්දු බිඳ දැමීමට සැරසෙන බව ප්‍රධාන විපක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක බීබීසී සංදේශයට ඒ බව පැවසුවේ, උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාව ද තවත් වාර්තාවක් එලි දැක්වීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.
"උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරනවයි කියල රටටත්, ජාත්‍යන්තරයටත් සහතිකයක් දීල නැවත ඒක ක්‍රියාත්මක නොවන ආකාරයට යම් යම් වාර්තා විවිධ පාර්ශවවලින් ලබා ගැනීමෙන් ජනාධිපතිවරයාත් හෑල්ලුවට ලක් වෙනවා, රටත් හෑල්ලුවට ලක් වෙනවා"
එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා
දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දූත මණ්ඩලය යුද හමුදා වාර්තාව පිළිබඳව සිය විමතිය පළ කළ බවයි, දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රී වරයා සංදේශයට කියා සිටියේ.
මේ සියල්ල මගින් ගම්‍ය වන්නේ උගත් පාඩම් කොමිසමේ වාර්තා ක්‍රියාත්මක නොකිරීමට රජයේ ඇති සූදානම බව ද තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරනවයි කියල රටටත්, ජාත්‍යන්තරයටත් සහතිකයක් දීල නැවත ඒක ක්‍රියාත්මක නොවන ආකාරයට යම් යම් වාර්තා විවිධ පාර්ශවවලින් ලබා ගැනීමෙන් ජනාධිපතිවරයාත් හෑල්ලුවට ලක් වෙනවා, රටත් හෑල්ලුවට ලක් වෙනවා," ඔහු පැවසීය.
උතුරේ පමණක් නොව දකුණේ ද දැන් හමුදාකරණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ද යන්න ගැන බරපතල සැකයක් මතුවන බව පවසන එජාප මහ ලේකම්වරයා, මෙහි අවසාන අරමුණ ශ්‍රී ලංකාවේ හමුදා ආණ්ඩුවක් සූදානම් වීමක් දැයි සැක මතුවීම අසාධාරණ නොවන බව ද පවසයි.












