
ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව එ ජා මානව හිමිකම් මණ්ඩලයේ අවධානයට යොමු කෙරෙනු ඇති බවට දෙජාස විශ්වාසය පළකරයි
හමුදාවට එල්ල වන යුධ අපරාධ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම ඇතුළු උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා හමුදාව වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින ඇමෙරිකානු දූත මණ්ඩලය විමතිය පළ කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ (දෙජාස) දූත පිරිසක් කොළඹදී හමුවුණු අවස්ථාවේ ඇමෙරිකානු දූත පිරිස එසේ පුදුමය පළ කළ බව දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් බීබීසී සංදේශයට පැවසීය.
පසුගිය වසරේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර කටයුතු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වී ඇති බව දෙජාස නියෝජිත පිරිස, එම සාකච්ඡාවේදී ඇමෙරිකානු දූත මණ්ඩලයට පෙන්වා දුන් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
"රජයම පත් කරපු උගත් පාඩම් කොමිසම එකක් කියනවා. ඒගොල්ලන්ගේ ඇක්ෂන් ප්ලෑන් එක කීප දෙයක් පිළි අරගෙන මේවා කරන්න ඕනේ කියල තියෙනව. එහෙම තියෙද්දී මේ ඔක්කොටම පටහැනිව ඇයි රජය මේ වගේ ක්‍රියා කරන්නේ කියල එගොල්ලන්ටත් පුදුම වෙලා තියෙනවා"
දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්
සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටින බව ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කළත්, ඒ කිසිවක් ක්‍රියාත්මක කොට නොමැති බවට යුද්ධය සම්බන්ධ හමුදාවේ වාර්තාව හොඳම සාක්ෂිය බව ද ඔහු පැවසීය.
විශේෂයෙන්ම ආණ්ඩුවේ ඇතැම් කොටස් විසින්ම යුධ අපරාධ චෝදනා පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරද්දී හමුදාව එම චෝදනා හදිසියේම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවඇමෙරිකානු දූත මණ්ඩලයේ විමතියට හේතු වූ බවයි ඔහු පවසන්නේ.
"රජයම පත් කරපු උගත් පාඩම් කොමිසම එකක් කියනවා. ඒගොල්ලන්ගේ ඇක්ෂන් ප්ලෑන් එක කීප දෙයක් පිළි අරගෙන මේවා කරන්න ඕනේ කියල තියෙනව. එහෙම තියෙද්දී මේ ඔක්කොටම පටහැනිව ඇයි රජය මේ වගේ ක්‍රියා කරන්නේ කියල එගොල්ලන්ටත් පුදුම වෙලා තියෙනවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අවධානයට යොමු කෙරෙනු ඇති බව තම විශ්වාසය බව ද මන්ත්‍රීවරයා පැවසීය.
නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජේම්ස් මුවර්, නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජේන් සිමර්මන් සහ නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් වික්‍රම් සිං ගෙන් සමන්විත ත්‍රි- පුද්ගල ඇමෙරිකානු දූත මණ්ඩලය සිය සංචාරයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය ජී එල් පීරිස් ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන් ද මුණ ගැසීමට නියමිතයි.
එම දූත පිරිස සඳුදා යාපනයේ සංචාරයක යෙදීමට ද නියමිතයි.












