
යුද්ධයේ අවසාන භාගයේදී යුද අපරාධ සිදු කළ බවට ආරක්ෂක හමුදාවලට මෙන්ම එල්ටීටීඊ යටද චෝදනා එල්ල වී තිබේ
එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසාන භාගයේදී සිදුවූ බව පැවසෙන යුද අපරාධ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් දැනට බ්‍රිතානයේ සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර විසංවාදයක් මතුවී තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව විසඳීම පිළිබඳව බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික තරුණ පරපුර සමඟ සාකච්ඡා කිරීමේ අරමුණින් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස), එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ දෙමළ ජාතික සන්ධානය (දෙජාස) නියෝජනය කරමින් දූත පිරිසක් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටිති.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ පරීක්ෂණයකට තම පක්ෂයේ සහාය හිමි නොවන බවයි, එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ.
කෙසේ නමුත්, පසුගිය වසරේ දෙසැම්බරයේදී මේ දූත පිරිසම බ්‍රිතාන්‍යයේ කරන ලද සංචාරයකින අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ මූලිකම අංගයක් වූයේ යුද අපරාධ පිලිබඳ පරීක්ෂණයක අවශ්‍යතාවය බව පෙන්වා දෙන දෙජාස නියෝජිත රගු බාලචන්ද්‍රන්, එවැනි පරීක්ෂණයකට දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහාය හිමිවන බව ප්‍රකාශ කරයි.
මෙම ප්‍රශ්නයේදී එජාපය සහ තම පක්ෂය අතර මතවාදීමය වෙනසක් තිබුනත් එය තම දූත පිරිස අතර මතුවී තිබෙන මතභේදයක් නොවන බවයි, ඔහු බීබීසී සංදේශයට කියා සිටියේ.
පාලක සන්ධානයේ වසන්ත දිසානායක මන්ත්‍රීවරයාද ඇතුලත් මෙම දූත පිරිස බ්‍රිතාන්‍යවාසී බොහෝ ශ්‍රී ලාංකික කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත්, ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් නියෝජනය කරන ප්‍රධානම සංවිධානයක් වන බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සමඟ තවමත් සාකච්ඡා නොකළ බව රගු බාලචන්ද්‍රන් පිළිගත්තේය.
කෙසේ වුවත්, ඉන්ටර්නැෂනල් ඇලර්ට් සහ රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ සංවිධානය කළ තම සංචාරය විදේශගත දෙමළ ප්‍රජාව සමඟ සංවාදයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට උපකාර කිරීමේ අරමුණින් කෙරෙන්නක් බවට පලවන මතය ඔහු ප්‍රතික්ෂේප කළේය.












