
මුස්ලිම් ජනතාව මහ ඇමති ධුරය මුස්ලිම් කොන්ග්‍රසයට දිය යුතුය කියා ඉල්ලා සිටින්නේ නම් එසේ කිරීමට තමන් සූදානම් යැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේ තම සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමග එක්ව නැගෙනහිර පළාතේ පාලන බලය පිහිටුවීමට තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
ඊයේ රාත්‍රී දෙමළ ජාතික සන්ධානය මුණ ගැසී සාකච්ජා කරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පොරොන්දුවුවත් එකී හමුව සිදුවී නොමැත.
මැතිවරණයේදී රජයට විරුද්ධව අදහස් පල කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය බවත් ඒ හේතුවෙන් මුස්ලිම් ජනතාව ඔවුන්ට විශාල වශයෙන් ජන්දය ලබා දී ඇති බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය.
පළාතේ මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාව රජය සමග එක්වීම නොව දෙමළ ජාතික සන්ධානය සමග එක්ව පළාත් සභාවක් පිහිටුවාලීම බවයි, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේ.
දෙමළ ජාතික සන්ධානය විසින් මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය දැඩි දෝෂ දර්ශනයට ලක් කරන ලදී.
යුද හමුදා බුද්ධි අංශ ලවා දෙමළ ජාතික සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පස් දෙනාට බලපෑම් කොට ඔවුන් ආණ්ඩුවට ගැනීමට උත්සාහ දරා ඇති බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේ.
"බුද්ධි අංශයේ අය ඔවුන් හමුවී තිබෙනවා. රජයට සම්බන්ධවන ලෙස ඉල්ලා තිබෙනවා. කොළඹින් ගෙවල්, වාහන සහ මුදල් කෝටි ගණනින් ලබා දෙන්නත් කොන්ත්‍රාත් ලබා දෙන බවත් පවසා තිබෙනවා," යැයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රී වරයා තවදුරත් පැවසුවේය.












