
"අනවශ්‍ය මොහොතක" උතුරු පළාතේ හමුදා ශක්තිය තර කිරීම ඉන්දියාවට ද තර්ජනයක් බවට ද මන්ත්‍රීවරයා අනතුරු අඟවයි
ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා සඳහා උතුරේ චීන ආධාරයෙන් නිවාස ඉදි කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිදු වන්නක් බව දමිල ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
රුපියල් කෝටි 1320 කට වැඩි ආධාරයක් හමුදා නිවාස සඳහා චීන රජයෙන් ලබා දෙන්නේ එරට ආරක්ෂක අමාත්‍ය ලියන් ගුවන්ලී පස් දින සංචාරයක් සඳහා බදාදා ලංකාවට ඒමට නියමිතව තිබියදීයි.
කලක් තිස්සේ උතුරු කරයේ පිහිටා ඇති මන්නාරම, පලාලි, අලිමංකඩ, පුනරින්, තල්ලඩි, කරෛනගර් සහ මුලතිවු ඇතුළු යුද කඳවුරු වල යුද සෙබළුන් වෙනුවෙන් වාසස්ථාන හා යටිතල පහසුකම් සැලසීම තම අරමුණ බවයි රජය ප්‍රකාශ කොට තිබුනේ.
යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි ජනතාව ගම බිම් වල පදිංචි නොකර රජය උතුරේ හමුදාකරණය තහවුරු කිරීමට පියවර ගනිමින් සිටින්නේයැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ආණ්ඩුවට චෝදනා කරයි.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ මෙම හමුදාකරණය පිළිබඳව අවදියෙන් සිටින ලෙස දෙමළ ජාතික සන්ධානය මීට ඉහතදී ඉන්දීය රජය දැනුවත් කරන ලද බව පවසන මන්ත්‍රීවරයා, චීන රජය විසින් අදාළ ඉදි කිරීම් සඳහා ඩොලර් මිලියන 100 ක් ලබා දීමට තීරණය කළ අවස්ථාවේදීම තම පක්ෂය එයට විරෝධය පළ කළ බව ද සඳහන් කරයි.
"අනවශ්‍ය මොහොතක" උතුරු පළාතේ හමුදා ශක්තිය තර කිරීම දෙමළ ජනතාවට මෙන්ම ඉන්දියාවට ද තර්ජනයක් බවට ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා අනතුරු අඟවයි.
මේ පිළිබඳව තම පක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින අතරම, තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරන බවද ඔහු පවසයි.












