
පුනරුත්ථාපන කඳවුරේදී හොඳින් හැසිරෙන්නේ නම් ශිෂ්‍යයන් පිරිස ඉක්මනින් නිදහස් කිරීමට ඉඩ තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි
වැලිකන්ද පුනරුත්ථාපන කඳවුරේ රඳවාගෙන සිටින යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනා නිදහස් කරන මෙන් තමන් කළ ඉල්ලීම ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විශ්ව විද්‍යාල බලධාරීහු පවසති.
උප කුලපතිනි වසන්ති අර්සරත්නම්ගේ ප්‍රධානත්වයෙන් යුත් යාපන විශ්ව විද්‍යාල දූත පිරිසක් පසුගිය සිකුරාදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබේ.
අත් අඩංගුවට ගෙන සිටින ශිෂ්‍යයන් සිවු දෙනා නිදහස් කරන තුරු අනෙක් ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතුවලට සහභාගි නොවනු ඇති බව එහිදී තමන් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වා දුන් බවයි, දූත පිරිසේ සාමාජිකයකු වූ මහාචාර්ය කදිරගාමනාදන් කන්දසාමි ප්‍රකාශ කළේ.
කෙසේ නමුත්, ශිෂ්‍යයන් පිරිස පුනරුත්ථාපනය සඳහා යොමු කොට ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා, පුනරුත්ථාපනයෙන් අනතුරුව ඔවුන් නිදහස් කෙරෙනු ඇති බවත් ඊට පෙරාතුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කිරීමට කටයුතු කරන මෙන් උපදෙස් දුන් බවත් මහාචාර්ය කන්දසාමි බීබීසී දෙමළ සේවයේ පී මානික්කවාසගම් ට පැවසීය.
'ආණ්ඩුව පුනරුත්ථාපනය කිරීම'
ශිෂ්‍යයන් පිරිස පුනරුත්ථාපන කඳවුරේදී හොඳින් හැසිරෙන්නේ නම් ඔවුන් ඉක්මනින් නිදහස් කිරීමට ඉඩ තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයාට විශ්ව විද්‍යාල ආචාර්ය පිරිසට පවසා තිබේ.
"යුද්ධෙකට පස්සේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියල ඔය කට්ටිය දන්නේ නෑ. ඒ නිසා ඒ අයට තමයි පුනරුත්ථාපනය අවශ්‍ය"
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි
මේ පිළිබඳව අදහස් දක්වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සංදේශයට කියා සිටියේ, ශිෂ්‍යයන් නොව ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවී තිබෙන බවයි.
"යුද්ධෙකට පස්සේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියල ඔය කට්ටිය දන්නේ නෑ. ඒ නිසා ඒ අයට තමයි පුනරුත්ථාපනය අවශ්‍ය," ඔහු පැවසීය.
ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සහ ශිෂ්‍ය නායකයන් ද මුණ ගැසීමට තමන් සූදානම් බව ද ආරක්ෂක ලේකම්වරයා දූත පිරිසට දැනුම් දී තිබේ.
කෙසේ නමුත් දැන් ශිෂ්‍යයන්ගෙන් සියයට 99 ක්ම විශ්ව විද්‍යාලයෙන් බැහැරව ගොස් ඇති බව පවසන ඔහු, ඔවුන් ආපසු පැමිණෙන තුරු අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවද පෙන්වා දෙයි.
පවතින වාතාවරණය යටතේ ඔවුන් යලි පැමිණෙනු ඇති දැයි තමන් නොදන්නා නමුත්, තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කළ හැකිදැයි ලබන සතියේ සොයා බලන බවද මහාචාර්ය කදිරගාමනාදන් කන්දසාමි බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.
තවමත් යාපනයේ පවතින්නේ 'මිලිටරි පාලනයක්' බවත්, එම පාලනය යටතේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට පාලකයන් ඉඩ නොදෙන බවත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි වැඩිදුරටත් සඳහන් කළේය.












