
දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බැවින් පත්කිරීමට යෝජිත නව අගවිනිසුරුවරයා පිළිනොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ ද පවසයි
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් තීන්දුව පිළිනොගන්නා බව ප්‍රධාන විරුද්ධ පක්ෂ පවසති.
අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් පමණක් නොව, "රණවිරුවන් පාවා දෙන දේශද්‍රෝහී ක්‍රියාවක්" ද වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
මෙමගින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපේ රටට ඇඟිලි ගැසීමට ජාත්‍යන්තර ප්‍රජාවට පාර කපා ඇති බවත්, මේ තත්ත්වය මත යම් හෙයකින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී දේශය මුදා ගත් රණවිරුවන්ට අවාසි සහගත තීන්දුවක් ප්‍රකාශයට පත් වුවහොත්, එම "පාවා දීමේ" වගකීම අන් කවරෙකුවත් නොව, "සහෝදර සමාගම" භාර ගත යුතු බවත් එජාපය අවධාරණය කරයි.
විශේෂයෙන්ම ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නිසි පරිදි සම්මත වී නැති බවයි, පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙන්නේ.
'ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්'
ඒ වෙනුවට ජනවාරි 11 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනේ "පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම" සඳහා වූ යෝජනාවක් බව ද එහි සඳහන්.
මේ තත්ත්වය යටතේ අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කිරීමට හෝ නව අග විනිසුරුවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු නීත්‍යානුකූල බලයක් නැති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.
මේ අතර සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කොට තිබෙන බැවින් ජනාධිපතිවරයා විසින් පත්කිරීමට යෝජිත නව අගවිනිසුරුවරයා තම පක්ෂය පිළිනොගන්නා බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.
එමතු නොව ස්ථාවර නියෝග අනුව පත් කළ තේරීම් කාරක සභාව නීත්‍යානුකූල නොවන බවට අභියාචනාධිකරණය විසින්ද අර්ථ දක්වා තිබෙන බැවින් "නීති විරෝධී" ලෙසින් පත්කෙරෙන නව අගවිනිසුරු පිළි ගැනීමට තමන් සූදානම් නැති බව කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ එම තීන්දු නොසලකා ක්‍රියා කිරීමේ පදනම මත ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බව ද එජාප නිවේදනයේ සඳහන්.












