
නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් ගේ සොහොයුරිය රුදමලර් ඥානබාස්කරන්ද මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමට සමත් වී නැත
පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය නැගෙනහිර පළාත් සභාවේ බහුතර බලය අත්පත් කර ගැනීමට අපොහොසත් වී ඇති හෙයින් මුස්ලිම් පාර්ශවයකට මහ ඇමති පදවිය පිරිනැමීම පිළිබඳව තමාගේ විරෝධයක් නැති බව හිටපු මහ ඇමතිවරයා පවසයි.
සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඒ බව පැවසුවේ සෙනසුරාදා පැවැත්වුණු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සංදේශය ඔහුගෙන් කරුණු විමසූ අවස්ථාවේ දී.
කෙසේ වෙතත් දෙමළ ජනතාව අතරමං කොට දමන ලද බවට හිටපු මහ ඇමතිවරයා දෙමළ ජාතික සන්ධානයට (ටීඑන්ඒ) චෝදනාවක්ද එල්ල කළේය.
මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා පාලක සන්ධානය වෙනුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂයන් දස දෙනාගෙන් අට දෙනෙකුම පරාජයට පත් වී තිබෙන අතර සිය මන්ත්‍රී ධූර ආරක්ෂා කර ගැනීමට සමත් වී තිබෙන්නේ පිල්ලෙයාන් සහ හිටපු පළාත් සභා අමාත්‍ය එම් එස් සුබයිර් පමණයි.
නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගේ සොහොයුරිය රුදමලර් ඥානබාස්කරන්ද මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමට සමත් වී නැත.
කිසියම් ලෙසකින් පාලක සන්ධානයට නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය අහිමිවන්නේ නම්, දෙමළ ජනතා ප්‍රශ්න විසඳීම සඳහා තමන් ටීඑන්ඒ සන්ධානයට වසර තුනක කාලයක් ලබා දෙන බවයි, සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් සඳහන් කළේ.
එසේ එම ගැටළු විසඳිය නොහැකි නම් තම පළාතේ දෙමළ ජනතාවට තම මතයට අවනත වීමට ඉඩ දෙන මෙන් ඔහු දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක්ද කළේය.












