බොරිස් ජොන්සන්: මීළඟ පිම්ම කොහෙටද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බොරිස් ජොන්සන් අගමැති ධුරයෙන් ඉවත් වුවද, විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ බොරිස් ජොන්සන්ට කිසි විටෙක රැකියාගෙන් අඩුවක් නොවනු ඇති බවයි.
වසර 30කට පසු කන්සර්වේටිව් පක්ෂය ඔවුන්ගේ විශාලතම මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන යමින් වසර තුනකට පසුව බොරිස් ජොන්සන් අගමැති ධූරයෙන් ඉවත් විය. ළමා වියේදී "ලෝකයේම රජු" වීමට සිහින මැවූ මිනිසා දැන් ඔහුගේ ඉදිරි වෘත්තීය ගමන සැලසුම් කරමින් සිටියි.
ඔහුගේ චරිතාපදාන රචක ඇන්ඩෲ ගිම්සන් පවසන්නේ බොරිස් " ගමකට ගිහින් පල්ලිය එක්ක හොඳ වැඩ කරලා, නිර්දෝෂී සහ අප්‍රසිද්ධ ජීවිතයක් ගත කරන ජාතියේ කෙනෙක් නෙවේ" යනුවෙනි.
එහෙනම් බොරිස්ගේ මීළඟ පිම්ම කොහෙටද?
ලේඛන කලාවට නැවත ඒවිද?
ජොන්සන් දේශපාලනයට පිවිසීමට පෙර ජනමාධ්‍යයේ ඉහළ වැටුප් ලබන්නෙකු වූ අතර ඔහු දේශපාලනයට පිවිසෙන කාලයේද පුවත්පත් සහ සඟරා සඳහා දිගටම ලිවීය. ඔහු එය අත්හැරියේ අගමැති වීමට දින කිහිපයකට පෙර ය.
ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට සතිපතා තීරු ලිපියක් ලිවීම වෙනුවෙන් ඔහුට වසරකට පවුම් 275,000ක් ලැබී ඇති අතර හිටපු අගමැතිවරයාට රැකියාවක් ලබා දීම සඳහා මාධ්‍ය ආයතන තරගකාරීව කටයුතු කරනු ඇත.
හිටපු අගමැතිවරුන් සඳහා හොඳ ආදායම් මාර්ගයක් වන, තම මතක සටහන් ලියා පළ කිරීම වැනි ඉල්ලීම් වලට ද ඔහු ආකර්ෂණය විය හැකිය. ඔහු බලයේ සිටි කාලය පිළිබඳ ග්‍රන්ථයක් රචනා කිරීම සඳහා ඔහුට "පවුම් මිලියන 1කට අධික ප්‍රමාණයක්" ලද හැකි බව ග්‍රන්ථකරුවන් අනාවැකි පළ කර ඇත.
පුවත්පත් තීරු එකතුවද ඇතුළුව ජොන්සන් දැනටමත් පොත් අටක් ලියා ඇත. ඔහුගේ වීරයා වන වින්ස්ටන් චර්චිල්ගේ චරිතාපදානය සහ උපහාසාත්මක දේශපාලන කෘතියක් වන Seventy-two Virgins ද ඊට අයත් ය.
නමුත් ඔහුගේ පළමු පශ්චාත් කර්තව්‍යය වනු ඇත්තේ ඔහු වසර හතක් තිස්සේ ලියමින් සිටි විලියම් ෂේක්ස්පියර්ගේ චරිතාපදානය අවසන් කිරීමයි. හෝඩර් සහ ස්ටෝටන් ප්‍රකාශන ආයතනය 2015 දී වාර්තාගත අගයක් වූ පවුම් 500,000 කට "Shakespeare: The Riddle of Genius" හි කතු අයිතිය මිලදී ගත්හ.
පොත එළිදැක්වීමට නියමිතව තිබුණේ 2016 දී ය. නමුත් බ්‍රෙක්සිට් ඡන්දය ජයග්‍රහණය කිරීම, විදේශ ලේකම් බවට පත් වීම සහ පසුව අගමැති වීම ජොන්සන්ගේ ලේඛනය ඇණහිටීමට හේතු විය.
"ෂේක්ස්පියර් ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ බලය සහ කැරලි ගසා රජෙකු මරා දැමිය යුත්තේ කුමන අවස්ථාවේ ද යන්න යි."
ජොන්සන්ගේ චරිතාපදානයේ දෙවන වෙළුම ලබන මාසයේ එළිදැක්වීමට නියමිත අතර එහි රචක ජිම්සන් පවසන්නේ, "දැන් ඉතින් ඔහුගේම පාර්ශ්වය ඔහුට විරුද්ධ වෙලා. ඔහුට ඔහුගේ පොතට හොඳ අවසානයක් ලැබිලා."

දේශන පවත්වයිද?
හිටපු අගමැතිවරුන්ට විශාල මුදලක් උපයා ගත හැකි එක් ක්‍රමයක් නම් ප්‍රසිද්ධියේ දේශන පැවැත්වීමයි. ජොන්සන්ගේ පූර්වගාමියා වූ තෙරේසා මේ 2022 වසරේ දී පමණක් දේශන නවයක් සඳහා පවුම් 715,000ක් උපයා ඇත.
ජොන්සන්ගේ ප්‍රහසන කුසලතාව ඔහු බලය ලබා ගැනීමට පෙර රාත්‍රියේ පැවති භෝජන සංග්‍රහයේ දී පිළිබිඹු විය. නමුත් ඔහුට දැන් තවත් වැඩි බරක් සහිත ගාස්තුවකට ඒවාට අතගැසිය හැකිය. 2019 මාර්තු මාසයේදී, එනම් ඔහු රජයේ සේවයේ සිටියදී, බැංකුවකට සහ ඉන්දියානු මාධ්‍ය කණ්ඩායමකට දේශන දෙකක් පැවැත්වීම සඳහා ඔහුට පවුම් 160,000 කට වඩා ගෙවන ලදී.
ජොන්සන්ගේ දිගුකාලීන උපදේශකයෙකු වන උඩ්නි-ලිස්ටර් සාමිවරයා පවසන්නේ, "ඔහු අනිවාර්යයෙන්ම ලේඛනයට සහ දේශන වලට යොමු වේවි" කියා ය. "ඔහු ඔහුගේ හදවතට සමීප විෂයයන් ගැන කතා කරාවි".
"බටහිර සහාය දැනටමත් නොලැබෙන යුක්රේනය වගේ මාතෘකා ඔහු කතා කරාවි." ලිස්ටර් වැඩිදුරටත් පැවසීය.
දේශක වෘත්තියේ මූල්‍ය ප්‍රතිලාභ හිටපු අගමැතිට අහිමි නොවනු ඇති බව ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ දේශපාලනය පිළිබඳ මහාචාර්ය ටිම් බේල් ද පවසයි. "බොරිස් ජොන්සන් තමන්ට වඩා තම මිතුරන්ට මුදල් තිබීම ගැන උමතු වෙලා ඉන්නේ. ඒ තත්ත්වය නිවැරදි කර ගන්න ඔහු කළ හැකි සෑම දෙයක්ම කරාවි."
දේශපාලනයෙන් ඈත් වේවි ද?
ජොන්සන් තවදුරටත් මන්ත්‍රී ධූරයක් දරනු ඇත්ද යන්න පිළිබඳව බොහෝ මතවාද පවතී. නව අගමැතිවරියගෙන් ඔහුට කැබිනට් මණ්ඩලයේ තනතුරක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක. එබැවින් ඔහුට ආපසු පසුපෙළට යාමට සිදු වනු ඇත. දේශපාලන පසුබෑම් වලින් පසු ඔහු මීට පෙර ද එසේ කර තිබේ.
කුමක් සිදු වුවද, අමාත්‍ය සංග්‍රහය යටතේ ඔහුට බලයෙන් ඉවත් වූ පසු වසර දෙකක කාලයක් රජයට සෘජුව බලපෑම් කිරීම තහනම් වේ. "ඔහු එතරම් ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් පිටව යන බවක් මට පේන්න නැහැ," උඩ්නි-ලිස්ටර් සාමිවරයා පැවසීය. "මම හිතන්නේ නෑ ඔහු පසුපසට වෙලා නිකන් ඉඳීවි කියලා."
මන්ත්‍රීවරුන්ගේ කමිටුවක් විසින් කොවිඩ් ප්‍රදේශ හුදෙකලා කිරීම් සමයේ දී ඩව්නිං වීදියේ පක්ෂ සාද පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුව නොමඟ යැවූ බව අනාවරණය කළහොත් ජොන්සන්ට පොදු සභාව තහනම් වීමට හේතු විය හැකිය. එමෙන්ම 7,100ක බහුතරයක් සමඟ කොන්සර්වේටිව් පක්ෂයෙන් සැළකිය යුතු වාසියක් නොලැබුණහොත්, මීළඟ මැතිවරණයේදී ඔහුට යුක්ස්බ්‍රිජ් සහ සවුත් රුයිස්ලිප් ආසන ලැබේද යන්න නිශ්චිත නැත.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
දේශපාලනයට පිවිසේවි ද?
අගමැති ධුරයෙන් නික්මීමට ප්‍රථම අවසන් වරට පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ "දැනට [ඔහුගේ] මෙහෙවර බොහෝ දුරට ඉටුවී ඇති" බව යි. එසේම ඔහු නැවත පැමිණෙන බවටද ඉඟි පළ කර තිබේ.
ඔහුගේ අනුප්‍රාප්තිකයා මීළඟ මහ මැතිවරණයෙන් පැරදුණොත්, ඇතැම් විට විපක්ෂ නායක ලෙස ඔහුට නැවත පැමිණිය හැකි වේවි ද?
කොන්සර්වේටිව් පක්ෂයේ ඉතිහාසය රචනා කළ මහාචාර්ය බේල් පැවසුවේ ජොන්සන්ගේ නැවත පැමිණීම බැහැර කළ නොහැකි නමුත් එසේ වීමට නම් පක්ෂය "ඉතා මංමුලා සහගත" විය යුතු බව යි.
"ඔවුන් බොරිස් ජොන්සන් වෙත ආපසු ගියොත් ඒක කොන්සර්වේටිව් පක්ෂයේ අනාගතය ගැන මගේ කනස්සල්ලට හේතුවක් ," ඔහු තවදුරටත් පැවසීය.
ජොන්සන්ගේ ඉල්ලා අස්වීමට අකමැති වූ ඔහුගේ දිගුකාලීන සගයෙකු වන ජේකබ් රීස්-මොග් මෑතකදී පෙන්වා දුන්නේ විලියම් ග්ලැඩ්ස්ටන්ට පසුව නායකත්වය අහිමි වූ කිසිවෙකු නැවත පැමිණ නැති බවයි. නමුත් ගිම්සන් ඓතිහාසික සැසඳීම් ගැන සැලකිලිමත් වන්නේ නැත.
"ඔහු මොනවා කළත් බොරිස් ජොන්සන්ගේ මතකය ඉතිරි වේවි. බොහෝ අය කලින් කලට දෙතුන් වතාවක් අගමැති වෙලා තිබෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, PA Media
නැත්නම් වෙනස්ම මඟක් ගනීවිද?
ඔහු කුමක් කළත් ඔහුගේ වියදම් පියවා ගැනීමට රාජකාරි වියදම් දීමනාව හිමිවේ. ජෝන් මේජර් විසින් හඳුන්වා දෙන ලද මෙම යෝජනා ක්‍රමය, හිටපු අගමැතිවරුන්ට කාර්යාල සහ ලේකම් කටයුතුවල වියදම් සඳහා වැය කිරීමට වසරකට පවුම් 115,000 දක්වා අරමුදල් ලබා දෙයි.
ජොන්සන් මෙතරම් කාලයක් දේශපාලනයේ සාමාන්‍ය නීති රීති කඩ කර ඇති අතර ඔහු කලින් සිටියවුන්ගේ මාර්ගය අනුගමනය කරනු ඇතැයි විශ්වාස කිරීම දුෂ්කර ය.
ගිම්සන් පැවසුවේ, "ඔහු කිසිවිටෙකත් ලැබුණු දෙයින් සතුටු වෙලා නිකන් හිටපු කෙනෙක් නෙවෙයි. "ඔහු මොනවා කළත් ඔහු ඉතා කාර්යබහුල වේවි කියලා මම හිතනවා. ඔහුට නිකරුණේ කාලය ගත කරමින් ඉන්න බැහැ."
මහාචාර්ය බේල් ද ඊට එකඟ වේ: "දේශපාලන ප්‍රචාරණය, නැවත පැමිණීම සහ මුදල් ඉපැයීම වගේ දේවල් එකවර කරන්න පුළුවන්." ඔහු පැවසීය.












