ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Instagram ඔබ සිටින ස්ථානය අනිත් අයට ප්‍රසිද්ධියේ පෙන්වනවද?
Instagramහි ඇති location tags භාවිතා කළ විට ඔබ සිටින ස්ථානය ප්‍රසිද්ධ කෙරෙන බවට පළවන පුවත් අසත්‍ය බව Instagram කියයි.
යමෙකු iOS සහ Android උපාංගවල "precise location" (නිශ්චිත ස්ථානය) සැකසුම සක්‍රීය කළහොත් Instagram හරහා ඔබ සිටින නිශ්චිත ස්ථානය ප්‍රසිද්ධ වන බවට සමාජ ජාල පුරා පැතිර ගිය පුවත්වල සඳහන්ව තිබුණි.
ඇතැම් පළ කිරීම්වල තිබුණේ නව Instagram හෝ iOS යාවත්කාලීනයක් නිසා මෙය සිදුව ඇති බව යි.
නමුත් Instagram පැවසුවේ එම විශේෂාංගය හරහා එලෙස ඔබ සිටින ස්ථානය අන් අයට දැකගත නොහැකි බව යි.
'Precise location' යනු කුමක්ද?
මෙම සැකසුම iPhone සහ iOS උපාංග භාවිතා කරන්නන් වෙත ප්‍රථම වරට ලබාදෙන ලද්දේ 2020 දී Apple iOS 14 මෙහෙයුම් පද්ධති වෙළුම සමඟය. පසුව Google සමාගම එය 2021 දී Android 12 සඳහා නිකුත් කරන ලදී.
එය හරහා ඇප්වලට තමා සිටින ස්ථානය වඩාත් නිවැරදිව දැකගත හැකි ද යන්න පාලනය කිරීමට පරිශීලකයාට අවස්ථාව ලැබේ.
දැන් එය මතභේදයට තුඩු දී ඇති නමුත්, මුලදී එය ජංගම උපාංගවල පරිශීලක පෞද්ගලිකත්වය වැඩිදියුණු කිරීමේ මාර්ගයක් ලෙස ප්‍රශංසාවට ලක් විය. මන්ද එය location සේවාවන් සඳහා වැඩි පාලනයක් පරිශීලකයාට සපයන බැවිනි.
මෙම සැකසුම, location දත්ත ලබා ගැනීමට ඒ වන විටත් අවසර දී තිබූ ඇප් සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විණි.
Precise location අක්‍රීය (off) කර ඇති විට අදාළ ඇප් එකට ලබාගත හැක්කේ දළ වශයෙන් ඔබ සිටින ස්ථානය පිළිබඳ අදහසක් පමණි. එනම්, ඔබ නුගේගොඩ සිටින්නෙකු නම් ඇප් එකට පෙනෙනු ඇත්තේ ඔබ හුදෙක් කොළඹ අවට සිටින අයෙකු ලෙස පමණි.
ඇප් එකකට precise location සක්‍රීය (on) කළ විට, එයට ඔබ ගමන් කරන නිශ්චිත ස්ථාන GPS භාවිතයෙන් දැකගත හැකි නිසා පසුබිමින් පුද්ගලික දත්ත එක්රැස් කළ හැකි ය.
මෙම භාවිතය ඇප් එකෙන් ඇප් එකට වෙනස් වේ.
උදාහරණයක් ලෙස Google Maps වෙත එය සක්‍රීය (on) කළ විට ඔබ යන ස්ථානය වෙත නිවැරදි මං සලකුණු ලබාදීමට ඊට හැකියාව ලැබේ. එසේම, Snapchat තුළ ඇති Snap Map වෙත එම අවසර ලබා දුන්විට ඔබ සිටින ස්ථානය මිතුරන්ට දැකගත හැකි වේ.
Instagram සඳහා එය ක්‍රියා කරන්නේ කෙසේ ද?
ඇතැම් සමාජ මාධ්‍ය පළකිරීම්වල දැක්වුණේ, නව Instagram හෝ iOS යාවත්කාලීනයක් නිසා, ඔබ ඡායාරූප හෝ ස්ටෝරි පළකළ විට ඔබ සිටින නිශ්චිත ස්ථානය අන් අයට දැකගැනීමට හැකි වන බව යි.
ඔබ නගරයේ පොදු ස්ථානයක් ටැග් කළ ද, ඔබ සිටින නිශ්චිත ස්ථානයම අන් අයට පෙන්වන බව ද ඒවායේ තවදුරටත් දැක්වුණි.
සමාජ ජාල ක්‍රියාකාරීන් ඉලක්ක කරගන්නා අපරාධකරුවන් මෙම විශේෂාංගය භාවිතා කරන බවට ද එහි දක්වා තිබුණි.
තොරතුරු ඡායාරූප, ටික්ටොක්, සහ මීම්ස් හරහා මෙම පුවත් පැතිරුණු අතර, වහාම Instagram සඳහා precise location සේවාව අක්‍රීය (off) කරන ලෙස පරිශීලකයන්ට උපදෙස් සපයා තිබුණි.
මෙම ප්‍රකාශ පිළිබඳව අදහස් දැක්වීම සඳහා BBC කළ ඉල්ලීමට Instagram ආයතනය ප්‍රතිචාර දක්වා නැති නමුත්, එම විශේෂාංගය ඔවුන් භාවිතා කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ට්වීට් කර තිබුණි.
ඔවුන්ගේ මාධ්‍ය නිවේදන කණ්ඩායම වන InstagramComms දක්වා තිබුණේ, "අප විසින් එලෙස ඔබේ ස්ථානය අන් අය හා බෙදාගන්නේ නැත. අන් සමාජ ජාල සේවාවන් මෙන්ම, අප ද location tags සහ maps විශේෂාංග සඳහා පමණක් precise location එක භාවිතා කරන්නෙමු."
Precise location කළ අයට තමා Instagram ඡායාරූපයක් හෝ ස්ටෝරි එකක් පළ කරද්දී තමා අවට ඇති ස්ථාන, වෙළඳසල් ආදිය ලැයිස්තුවක් පෙන්වනු ලැබේ.
ඉන්ස්ටග්‍රෑම්හි ප්‍රධානී ඇඩම් මොසෙරි ඉහත ට්වීට් එක උපුටා දක්වමින් නැවත ට්වීට් කර ඇති අතර, Location සේවා යනු දුරකථන මෙහෙයුම් පද්ධතියේ කොටසක් මිස නව ඉන්ස්ටග්‍රෑම් විශේෂාංගයක් නොවන බව නැවත අවධාරණය කළේ ය.
"අපි ඔබ සිටින ස්ථානය අනිත් අයට පෙන්වන්නේ නැහැ," ඔහු පැවසීය.