ආනයන තහනම: ඉදිකිරීම්, ඡායාරූපකරණ, රූපලාවන්‍ය ආදී ක්ෂේත්‍ර රැසකට කණකොකා හඬන ලකුණු

Close-up of the container with the national flag of Sri Lanka. The concept of Sri Lanka export-import and national delivery of goods.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දා අබේසූරිය
    • Role, බීබීසී සිංහල

අගෝස්තු 22 දා, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අත්සනින් නිකුත් කෙරුණු අංක 2294/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ආනයනය "තාවකාලිකව අත්හිටුවනු" ලැබූ භාණ්ඩ වර්ග සංඛ්‍යාව 367කි.

මෙම අත්හිටුවීම අගෝ. 23 දා සිට බලාත්මක විය.

කෙසේ නමුත්, එදිනෙදා ජන ජීවිතයට අවැසි ශීතකරණ, ජංගම දුරකථන, ෂැම්පු, ඩියෝඩරන්ට්, රැවුල බෑමේ නිෂ්පාදන වැනි පුද්ගල සනීපාරක්ෂක ද්‍රව්‍ය හා යට ඇඳුම් ඇතුළු භාණ්ඩ හා උපකරණ රැසක් ද මේ අතර වෙයි.

එසේම, ලංකාව තුළ ඇතැම් ව්‍යාපාර හා කර්මාන්ත පවත්වාගැනීමට අත්‍යාවශ්‍ය වන උපකරණ, අමුද්‍රව්‍ය හා වෙළඳ භාණ්ඩ මෙසේ ආනයනය අත්හිටුවනු ලැබූ භාණ්ඩ යටතට අයත් ය.

විශේෂයෙන්ම ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත්‍රය, ධීවර කර්මාන්තය, විද්‍යුත් උපාංග, සෙරමික් හා ඇලුමිනියම් භාණ්ඩ හා සබැඳි ව්‍යාපාර හා එවැනි උපාංග හා උපකරණ බහුලව භාවිතා කෙරෙන ව්‍යාපාර ආදිය මේ ආනයන තහනම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව ඇති ව්‍යාපාර ලැයිස්තුවේ ඉහළින්ම පවතියි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට කණකොකා හඬන ලකුණු

ඉදිකිරීම් හා ගොඩනැගිලි ක්‍ෂේත්‍රයට අත්‍යවශ්‍ය උපකරණ වන කටින් ඩිස්ක් හා ග්‍රයින්ඩින් ඩිස්ක් වැනි තල, පිඟන් ගඩොල් කැපුම් තල, කොන්ක්‍රීට් කැපුම් තල, යකඩ හා වානේ කැපීමට හා මැදීමට භාවිතා කරනා තල, විවිධාකාරයේ කියත් සහ වෑල්ව, සියලු ආකාරයේ විදුම් යන්ත්‍ර හා උපකරණාදිය නව ගැසට් පත්‍රය මඟින් ආනයනය අත්හිටුවනු ලැබූ භාණ්ඩ අතරට අයත් වේ.

ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරතවන ප්‍රමාණ සමීක්ෂකවරයෙකු වන අශාන් විමුක්ති BBCය වෙත කියා සිටියේ අමුද්‍රව්‍ය හිඟකම නිසා, විශේෂයෙන්ම පිඟන් ගඩොල් හිඟකම නිසා, රට තුළ ඒකාධිකාරයක් නිර්මාණයවී ඇති බව යි.

"ටයිල් සම්බන්ධයෙන් ගත්තහම, ඉම්පෝට් කරන අය ඉස්සර හිටියනේ... ඒගොල්ලොත් ඉම්පෝට් කරනවා අඩුවට, එතකොට ලංකාවේ ඉන්න අයට - උදාහරණ විදියට ලංකා ටයිල් එක, රොසෙල් එක - තරගකාරී මිලක් දෙන්න වෙනවා අරගොල්ලොත් එක්ක. අරගොල්ලෝ දැන් ඉම්පෝට් කරන එක සීමා කරලා නිසා (ඇත්තෙන්ම සස්පෙන්ඩ් නේ කළේ, දැන් සීමා කිරීමක් නෙවේනේ කළේ) එතකොට මේගොල්ලෝ තමන්ට ඒකාධිකාරය වැඩිකරගෙන තියෙනවා. ඉල්ලුමට සැපයීමක් දෙන්නෙත් නැහැ.

"අවුරුද්දේ දෙවනි මාස හය ඇතුළත අපට කිසිම ප්‍රොජෙක්ට් එකක් පටන්ගන්නත් බැරිවුණා. කරගෙන යන ටික කරගෙන යන්නත් අමාරු යි," ප්‍රමාණ සමීක්ෂකවරයා කියා සිටියේ ය.

ආනයනය අත්හිටුවා ඇති බොහෝ අමුද්‍රව්‍ය හා උපකරණ දිවයින තුළ නිෂ්පාදනය නොකරන, නිෂ්පාදනය කළ නොහැකි දෑ බැව් පවසන ඔහු, "පෞද්ගලික අංශය යාන්තම් දුවාගෙන එන තත්ත්වයක් තියෙන්නේ. මම හිතන්නේ නෑ වැඩිකල් මෙහෙම දුවාගෙන යන්න පුළුවන් කියලා කම්පැනිවලට"යි ද ප්‍රකාශ කළේ ය.

Ashan Vimukthi facebook post

ඡායාරූප මූලාශ්‍රය, Ashan Vimukthi/Facebook

සිය නම හෙළිකරනවාට අකමැතිවූ, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක නිලධරයෙකු ද නව ආනයන තහනම හරහා සිය ක්‍ෂේත්‍රයට සිදුව ඇති හානිය විස්තර කළේ ය.

ඔහු පවසා සිටියේ ගොඩනැගිලි ඉදිකිරීම් දී නිමාව සඳහා අත්‍යාවශ්‍ය (මෙතෙක් විදේශයන්ගෙන් ආනයනය කළ) ඇතැම් ඇලුමිනියම් සහ වීදුරු නිෂ්පාදන සඳහා ප්‍රතිරූපණ හිමිකම් නීති බලපැවැත්වෙන බැවින් ඒවා මෙරට දී නිපදවීමට නොහැකිබව යි. දැව ආනයනය ද තහනම්කර තිබේ.

"ඒගොල්ලන්ගේ නිෂ්පාදනවලට කොපිරයිට් තියෙන නිසා අපට ඒවා ලංකාවේ හදන්න බෑ. එතකොට අනිවාර්යයයෙන් අපි ඒවා ඉම්පෝට් කරන්න ඕන. එතකොට ඉම්පෝට් කරන්න බැහැ මේ රෙස්ට්‍රික්ෂන් එක්ක."

එසේම, ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීමේ අවශ්‍යතාවන්ට සරිලන තරම් දැව ප්‍රමාණයක් දිවයින තුළින් සපයාගත නොහැකිබව ද ඔහු කියා සිටියි.

"මහා පරිමාණයේ ව්‍යාපෘතිවලට දැව දීගන්න තරම් සප්ලයි එකක් නැහැ. එතකොට අපි කරන්නේ පිටරටින් - චීනේ, මැලේසියාව වගේ රටවල තියෙනවා 'ඉන්ජිනියර්ඩ් ටිම්බර්' කියලා, සම්පූර්ණ ප්‍රොඩක්ට් එකක් - එතකොට ඒ ප්‍රොඩක්ට්ස් ලංකාවට ගෙන්නන එක තමා කළේ... ඒක රෙස්ට්‍රික්ට් කළාම ඊළඟට වෙන්නේ, ලංකාවේ දැව තමයි ගන්න වෙන්නේ. ලංකාවේ දැව ගන්න පුළුවන් උපරිමයක් තියෙනවනේ."

"අපි දැන් හිතන්න, අපාට්මන්ට්ස් ප්‍රොජෙක්ට්ස් යනවා ලංකාවේ. එතකොට ඒ අපාට්මන්ට්ස් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ගන්නේ නෑනේ. එතකොට ඒවා ගන්නේ පිටරටින් ඇවිල්ලා ඉන්න, යම්කිසි වත්කමක් තියෙන, රටට ඩොලර් ගේන මිනිස්සු. ඔතන දී වෙන්නේ, අපිට දැන් ඔය වගේ ප්‍රොජෙක්ට්ස්වලට ඉම්පෝට් කරන්න බැරි වුණාම ඒ ප්‍රොජෙක්ට්ස් හෝල්ඩ් වෙනවා. එතකොට කරන්න දෙයක් නැහැ," ඔහු ප්‍රකාශ කරයි.

"අද මට මනුස්සයෙක් කතාකරලා ඇහුවා 'මල්ලි අනේ මොනවත් බිස්නස් එකක් නැද්ද' කියලා"

උද්‍යාන නිර්මාණ ශිල්පියෙකු වන උදය කුමාරසිරි අප හා පවසා සිටියේ ආනයන තහනම හේතුවෙන් සිය ව්‍යාපාරයට ද දැඩි බාධා එල්ලවී ඇතිබවකි.

"අපි කරන්නේ තණකොළ දාලා ගස් හිටවන එක විතරක්ම නෙවෙයි. මේකෙ දී පාක්ස් හදන්න, එතකොට පෙබල්ස් දාලා ලස්සන ගාඩ්න්ස් හදන්න වගේ තව ගොඩක් දේවල් එකතුවෙනවා නේ. ඔය ඔක්කොම ටික බෑන් කරලා තියෙන්නේ. පෙබල්ස් ගෙන්නන්නේ නැහැ. අපට ඔය සමහර විලා එකකට එහෙම හරියන කොලිටියේ පෙබල්ස් ලංකාවේ හදන්නේ නැහැ. ඊළඟට උපකරණ - ඔය හෝටිකල්චර්වලට අවශ්‍ය ගස් කප්පාදු කරන කතුරේ ඉඳලා පොඩි අත් මුල්ලු, ඉස්කෝප්ප, සවල්, ඊට පස්සේ ඔය වැටවල් කප්පාදු කරන කතුරු, දම්වැල් කියත්, තණකොළ කපන මැෂින්, ඔය මොකක්වත්ම ගෙන්නනෙත් නැහැ සහ ඒවායේ අමතර කොටස් එන්නෙත් නැහැ."

Import ban

ඡායාරූප මූලාශ්‍රය, BreakingLK/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ආනයන තහනමට විරුද්ධව මෙවැනි පෝස්ටු ද මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණයවනු දක්නට හැකි ය

උද්‍යාන නිර්මාණයට අවශ්‍ය වන ග්‍රයින්ඩින් තල හා විද්‍යුත් විදුම් උපකරණ ආදිය ආනයනය ද තහනම්කර ඇතැ යි ඔහු පැවසීය. මෙනිසා යම් උපකරණයක් අවශ්‍යවූ විට එහි වටිනාකම මෙන් හත්අට ගුණයක මිලකට ඒවා මිලට ගැනුමට සිදුව තිබෙන වග ඔහු කියා සිටියි.

ඔහු පවසන්නේ මෙය උද්‍යාන සැලසුම්කරණයට පමණක් නොව සංචාරක කර්මාන්තයට ද බලපෑමට හැකි කරුණක් බවයි.

"මෙහෙ ලොකු ආයෝජනයක්නේ ලස්සන ගාඩ්න් එකක් හදනවා කියන්නේ. එතකොට ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරන්නෙත් මෙහෙට විදේශ මුදල් ගෙන්නන්න නේ. ෆොරිනර්ස්ලා ආකර්ෂණය කරගන්න කරන වැඩක් නේ ඕක. එතකොට ඒ ආයෝජනේ අපට කරන්න විදියක් නෑ දැන්. ඉතින් ඒක කරන්නේ නැතුව ඉතින් ෆොරිනර් කෙනෙක් එන්නේ මොකට ද? එයාට වෙන රටකට වඩා අපේ රටේ විලා එකක හරි හොටෙල් එකක හරි මොකක් හෝ විශේෂ දෙයක් තියෙන්න ඕනෙනේ. ඉතින් ඒ ඉන්වෙස්ට්මන්ට් එක අපට කරන්න බැරුව, එයාලා නිකන් අපේ රටේ බිල්ඩින් එකක් බලලා යන්න එන්නේ නෑ නේ."

මෙනිසා තම ක්ෂේත්‍රයට අදාළ සැපයුම් ජාලයන් ද අඩපණව ඇතැ යි ඔහු පවසයි.

"අපි ලෑන්ඩ්ස්කේපින් කරන්නේ නෑ කියන්නේ තණකොළ ගන්නේ, ඒ මොනවත් නැහැ. ඔය ජාඇල, වත්තල පැත්තේ එහෙම තිබුණා තණකොළ වවන බිස්නස්. එතකොට ඒගොල්ලෝ තණකොළ වර්ග අඩි ලක්ෂ ගණන් හැදුවා. ඉස්සර අපි ඒගොල්ලන්ගෙන් තණකොළ ගන්න පස්සෙන් යන්න ඕන. නමුත් දැන් අද මට මනුස්සයෙක් වතාවල් තුනක් කතා කරලා ඇහුවා 'මල්ලි අනේ මේ මොනවත් බිස්නස් එකක් නැද්ද' කියලා.

"ඉතින් ඒ පැත්තේ තණකොළ හදන අයට එහෙන් තණකොළ විකුණගන්න විදියක් නෑ මේ ටික නැවතුනාම. එතකොට තණකොළ හදන අයට කොහුබත් මෙහෙ කට්ටිය යවන්නේ. ගාල්ලේ ඉඳලා කොහුබත් යනවා ජාඇලට. දැන් ඒ බිස්නස් එක නැවතිලා තණකොළ හදන්නේ නැති නිසා. ඔය වගේ අපට පේන්නේ නැති පොඩි පොඩි බිස්නස් සෑහෙන ප්‍රමාණයක් නැවතිලා තියෙනවා."

"අපි හිතනවා මොනවහරි ඉම්පෝට් කරන්න ගියාම අපෙන් ඩොලර් වැයවෙනවා කියලා. දැන් හිතන්නකෝ, ඩොලර් මිලියනයක් අපි වැය කරනවා කියලා ඉම්පෝට් කරන්න. ඉතින් ඒ ඉන්වෙස්ට්මන්ට් එකෙන් අපි සමහර වෙලාවට ඩොලර් මිලියන 100ක් විතර හොයනවා. ඉහළ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නෑ මේ කතන්දරේ," ඔහු චෝදනා කරයි.

"මාස තුනකට කලින් හෙයාස්ප්‍රේ එකක් 10 000ට පවා ගන්න තැනට වැටුනා"

ආනයනය අත්හිටුවීම නිසා විපතට පත්ව තිබෙන තවත් ක්ෂේත්‍රයක් වන්නේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය යි. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මෙහිදී තම ක්ෂේත්‍රයේ ශිල්පීන් පත්ව සිටින අපහසුතාව අප වෙත පැහැදිලි කළේ ය.

රූපලාවන්‍යාගාර සඳහා අවශ්‍ය හිසකේ ආලේපන, විශේෂිත සන්නාම යටතේ නිපදවෙන රූපලාවන්‍ය නිෂ්පාදන, කොණ්ඩා කටු, රූපලාවන්‍යාගාර සඳහා අවශ්‍ය විශේෂිත ආසන ආදී උපකරණ සහ විවාහ මංගල හා මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රයන්ට අවශ්‍ය රෙදිපිළි සහ නැවුම් මල් ආදිය ද දැනටමත් ඉතාම හිඟබව ඔහු පවසයි.

"තහනම දාන්න කලින් ඉඳලම කොහොමත් බඩු තිබුණේ නැහැ, හෙයා ස්ප්‍රේ ඉඳලා මේකප් ප්‍රොඩක්ට්ස් වෙනකල්. අපි ඉතින් ඔය යාළුවො වගේ [පිටරට] යන එන අය හරහා තමයි ගෙන්නගත්තේ... මීට මාස තුනකට කලින් අපි හෙයා ස්ප්‍රේ එකක් 10 000ට පවා ගන්න තැනට වැටුනා."

"නැතිවෙලා තිබ්බ ඒවා දැන් තහනම්ම කරලා තියෙන්නේ... අපි හුරුවෙච්ච ප්‍රොඩක්ට්ස් තියෙනවා, අපිට පුරුදු ප්‍රොඩක්ට්ස් තියෙනවා සහ ඒවා [විදේශයන්ගෙන්] ගෙන්නගෙන හරි - මෙහෙ ගන්න නැතත් - අපි මෙච්චරකල් වැඩ කළා ඉතින්. නමුත් මෙතැනින් එහාට එහෙමත් බැහැ. ඉතින් මට තේරෙන්නේ නෑ කොහොමද ඉන්ඩස්ට්‍රි එකක් දුවන්නේ කියන එක,"යි පැවසූ ඔහු, සිය රූපලාවාන්‍යාගාරයන්ගෙන් එක් ශාඛාවක් වසාදැමීමට ද සිදුවූ බව සඳහන් කළේ ය.

ප්‍රමුඛ පෙළේ රූපලාවන්‍යාගාරයක් හිමි තමා මෙවන් අපහසුතාවකට පත්ව ඇත්නම්, කුඩා පරිමාණයේ රූපලාවන්‍යාගාර හිමියන් කුමන තත්ත්වයකට පත්ව ඇත්දැ යි ජයසිංහ අපගෙන් විමසා සිටියේ ය.

"රූපලාවන්‍ය සහ බියුටි ඉන්ඩස්ට්‍රි එක කියන්නේ රජයකට කිසිම බරක් නැති ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් ඒකටත් තහනම් දානවා කියන්නේ - මොකද ජොබ්ස් ගොඩාක් බිහිකරපු ක්ෂේත්‍රයක් නේ ඉතින් මේ බියුටි ෆීල්ඩ් එක කියන්නේ," ඔහු ප්‍රකාශ කළේ ය.

Chandimal Jayasinghe

ඡායාරූප මූලාශ්‍රය, Chandimal Jayasinghe/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක හිමිකරුවෙකි

මෙවැනි හේතුන් නිසා සේවාදායකයින් සමග කටයුතු කිරීම අපහසුවී ඇතැ යි ද, ව්‍යාපාරයන්හි ආදායම පහත වැටී ඇතැ යි ද ඔහු කියා සිටියි.

මේ වසරේ පැවැත්වෙන විවාහ මංගලෝත්සව ආදී උත්සව සඳහා පසුගිය වසරේ දී ලබාදුන් ඇස්තමේන්තුගත මිළගණන් මේ වන විට දෙගුණ තෙගුණවී ඇති බව විස්තර කළ ඔහු, මේ හේතුවෙන් පෙර දී සේවාදායකයින් සමඟ එකඟවූ පැකේජයන් මේ වන විට ලබාදීමට අපහසුබව ද ප්‍රකාශ කළේ ය.

එසේම, බොහෝදෙනා විවාහ මංගලෝත්සවයක් සඳහා වියදම් කරන මුදලින් විශාල කොටසක් කපාහැර ඇතැ යි ද ඔහු කියා සිටියි.

"අපි වුණත් දැන් පාඩුව දරාගෙන මේ අවුරුද්දේ තියෙන වෙඩින්ග්ස් කරනවා. මට තේරෙන්නේ නෑ ඒවාට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා," ඔහු අප හා පැවසුවේ ය.

"2019 දී ලක්ෂ 4ට ගත්ත කැමරාව අද වෙනකොට ලක්ෂ 11ක් වෙලා"

මංගල ඡායාරූපකරණ ශිල්පියෙකු වන අරෝෂ මිහිරාන්, තම ක්‍ෂේත්‍රයට අදාළ සියලු උපකරණ හා අමුද්‍රව්‍ය ගෙන්වන්නේ විදේශයන්හි සිටබව BBC හා ප්‍රකාශකර සිටියේ ය. කැමරා, කැමරා කාච කට්ටල, දත්ත ගබඩා කිරීමේ කාඩ්පත්, මුද්‍රණ යන්ත්‍ර හා කඩදාසි ආදිය ආනයනය නැවැතීම හේතුවෙන් මංගල ඡායාරූපකරණ ශිල්පීන් බලවත් අපහසුතාවකට පත්ව ඇතැ යි ඔහු පවසයි.

"මම කැමරා දෙකක්, ලෙන්සස් හතරක් පාවිච්චි කරනවා. ලෙන්සස් නම් ලොකු අවුලක් නෑ, අවුරුදු 4ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. නමුත් දැන් එක කැමරාවක් ගත්තොත්, ඕකේ වෙස්ටේජ් එක මනින්න පුළුවන් ෂටර් කවුන්ට් එකෙන්. ෂටර් කවුන්ට් එක පනින්න කලින් ඕකේ එක එක ලෙඩ එනවා සාමාන්‍යයෙන් - සෙන්සර්වල අවුල් වගේ එක එක ප්‍රශ්න. අපි උපරිම වැඩ කරනවා නම් [කැමරාවක්] බ්‍රෑන්ඩ් නිව් අරගෙන අවුරුද්දක් වගේ ඇතුළත තව එකක් ගන්න සූදානමින් ඉන්න ඕන. ඊට පස්සේ බැකප් කැමරාවකට යන්න බලාගෙන ඉන්න ඕන.

"උදාහරණයක් විදියට මම පාවිච්චි කරන කැමරා මොඩල් එක 2019 අග දී ගත්තේ 392 000ට. ගිය අවුරුද්දේ අගෝස්තුවේ ඒකම බ්‍රෑන්ඩ් නිව් ගත්තා 525 000ට. ඒකම ආයේ මේ අවුරුද්දේ මාර්තුවල ගත්තා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ලක්ෂ 5ට, ඒ දවස්වල බ්‍රෑන්ඩ් නිව් එක 620 000කට වගේ. දැන් ඒකම වෙනවා ලක්ෂ 11ක්. මාස 5ක් ඇතුළත දෙගුණෙකට කිට්ටුවෙන්න වැඩිවෙලා තියෙනවා," මිහිරාන් අප හා පැවසුවේ ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ආනයනය අත්හිටුවීම හා භාණ්ඩ මිළ ඉහළයෑම හේතුවෙන් ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය නිසා, මාස කීපයක් ඉදිරියේ දී පවතින උත්සව ඡායාරූපකරණය සඳහා සිය සේවාදායකයින් වෙත නිශ්චිත මිළගණන් ඇස්තමේන්තු ලබාදීමට ද මංගල ඡායාරූපකරණ ශිල්පීන් අපොහොසත්ව සිටිනබව ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහුගේ තවත් චෝදනාවක් වන්නේ ආනයනය අත්හිටවූ භාණ්ඩ ලැයිස්තුව ද පැහැදිලි මඳබව ය.

ආනයනය අත්හිටුවා ඇතැ යි නිවේදනය කෙරුණේ භාණ්ඩ 300ක ලැයිස්තුවක්වුව ද, අදාළ භාණ්ඩ ලැයිස්තුවේ භාණ්ඩ වර්ග 367ක් සඳහන් වන අතර, මේවා යටතට තවත් භාණ්ඩ දහස් ගණනක් අයත් ය.

ආනයන සීමා පැනවීම IMF නිර්දේශයන්ට විරුද්ධව යෑමක්?

මෙවසර මුල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ සිදුකළ සාකච්ඡාවන්ට අදාළව IV වැනි වගන්ති උපදේශනය අවසන් කරමින් වාර්තාවක් නිකුත් කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා ඉදිරිපත් කළ නිර්දේශයන් අතර ආර්ථිකය විවිධාංගීකරණය කිරීම, ආනයන සීමා ඉවත්කිරීම සහ පොදුවේ ව්‍යාපාර සහ ආයෝජන වාතාවරණය වැඩිදියුණු කිරීම සඳහා වැඩිදුර උත්සාහයන් අවශ්‍යබව සඳහන් වේ.

එහි මෙසේ ද සඳහන් ය:

"වසංගතය තුළ හඳුන්වාදුන් ආනයන සීමාකිරීම් සහ ප්‍රාග්ධන ප්‍රවාහ කළමනාකරණ ක්‍රියාමාර්ග තාවකාලිකවිය යුතු ය. 2020-21 කාලය තුළ ප්‍රමුඛතා නොවන ඇතැම් භාණ්ඩ ආනයනය අත්හිටවූ අතර, මෙමඟින් ආනයන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.4%කින් අඩුවනු ඇතැ යි අපේක්ෂා කෙරිණ. නමුත් එවැනි ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර වන අතර, එම සීමාවන් ක්‍රමානුකූලව අත්හිටුවීමට බලධාරීන් විසින් කාලසටහනක් සකස්විය යුතු ය.

"2020 ආනයන සීමාකිරීම් පාරිභෝජන භාණ්ඩ කේන්ද්‍රගතකර පැනවුණ ද, 2021 ආනයන සීමාවන්ගෙන් බහුතරය කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට බලපෑම් කරමින් අතරමැදි සහ ප්‍රාග්ධන භාණ්ඩ කේන්ද්‍රකර පනවණු ලැබිණ. වසංගතය අතරතුර බලධාරීන් නව ප්‍රාග්ධන ප්‍රවාහ කළමනාකරණ ක්‍රියාමාර්ග හඳුන්වාදුන් අතර පවතින ක්‍රියාමාර්ග දැඩිකළේ ය. මේවා නුදුරුකාලීන විදෙස් විනිමය හිඟය අවමකර ගැනීම සඳහා උපකාරවිය හැකිමුත්, විස්තීරණ ප්‍රතිපත්ති පැකේජය සහ සහතික කළ සාර්ව ආර්ථික ගැලපුම් සඳහා ආදේශකයක් නොවිය යුතු ය. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ VIII වගන්තියේ වගවීම්වලට නොගැලපෙන බහුවිධ මුදල් පරිචයක් පවත්වාගෙන යන බව කාර්යය මණ්ඩලය තක්සේරු කරන අතර, අනුමැතියක් නිර්දේශ නොකරයි."