වසර 30ක් පොලිසියෙන් සැඟවෙමින් චිත්‍රපට 28ක රඟපෑ ඉන්දියාවේ "අත්‍යවශ්‍ය" අපරාධකරු

Omprakash after his arrest
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕම් ප්‍රකාශ් අත්අඩංගුවේ පසුවන අතර ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වා නැත

පාෂා යන නමින් ද හැඳින්වුණු ඕම් ප්‍රකාශ්, උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පොලීසියේ "අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ" ලැයිස්තුවට නම ඇතුළත්වූ අයෙකි.

හිටපු ඉන්දීය හමුදා සේවකයෙකු වන මේ තැනැත්තා මංකොල්ලකෑමක් හා ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අවශ්‍යව සිටින නමුත්, හර්යානාවේ අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට වී නිදහසේ වෙසෙමින් වසර 30ක් නීතියෙන් ගැලවී සිටීමට සමත්විය. එහිදී නව අනන්‍යතා ලියකියවිලි ද ලබාගෙන නව ජීවිතයක් ඇරඹි ඔහු ප්‍රදේශයේ කාන්තාවක් හා විවාහවී දරු තිදෙනෙකු ද ලැබුවේ ය.

නමුත් මෙම සතිය මුල දී ඔහුගේ වාසනාව ගෙවීගොස් අවසන්වූයේ පොලීසිය මේ දුබල, 65 හැවිරිදි මිනිසා ගසියාබාද්හි මුඩුක්කුවක පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟය.

අත්අඩංගුවට පත්වන තුරු ඕම් ප්‍රකාශ් විවිධ චරිත රඟපා ඇතිබව පොලීසිය පවසයි. ඊට, ට්‍රක් රථයක් ධාවනය කිරීම, ආගමික අවස්ථාවන්හි දී භක්ති ගීත ගායනා කරනා කණ්ඩායමකට බැඳී අසල ගම්වල සැරිසැරීම හා ප්‍රදේශයේ නිපැයුණු අඩු-වියදම් චිත්‍රපට 28කට රංගනයෙන් දායකවීම ද අයත් ය.

ඕම් ප්‍රකාශ් දැනට අත්අඩංගුවේ පසුවන අතර තමාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. නමුත් ඔහු අත්අඩංගුවට ගත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ හර්යානාවේ විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක විවේක් කුමාර් BBCය වෙත ප්‍රකාශ කරන පරිදි, 1992 දී සිදුවූ මිනීමැරුම සම්බන්ධයෙන් ඕම් ප්‍රකාශ් දොස් පවරන්නේ ඔහු හා සිටියේයැයි පැවසෙන සහායකයෙකුට ය.

ඕම් ප්‍රකාශ් අත්අඩංගුවට පත්වීම වාර්තාවීමෙන් දින දෙකකට පසු BBCය ඕම් ප්‍රකාශ්ගේ පවුල සොයාගියේ ඔවුනට පැවසීමට ඇති කතාව සහ ඕම් ප්‍රකාශ්ගේ නිර්දෝෂීබව සම්බන්ධයෙන් ඔවුනට පැවසීමට ඇති දේ ඇසීමට ය.

Omprakash in a film where he played a policeman
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕම් ප්‍රකාශ් චිත්‍රපට 28කට රංගනයෙන් දායකවූ අතර, ඉන් එකක දී පොලිස් නිලධාරියෙකු ලෙස පවා රඟපෑවේ ය

නාමපුවරු නොමැති, වංකගිරියක වැනි පටු මාර්ගවලින් සහ අනුක්‍රමික නොවන අංක සහිත ගෙවල්වලින් සැදි හර්බාන්ස් නගර් මුඩුක්කුවේ විසූ ඔවුන් සොයාගැනීම සඳහා පැය තුනහමාරක් ගෙවීමට සිදුවිය.

විසිපස් වසරක සිට ඔහුගේ බිරිඳව සිටි රාජ්කුමාරි, සහ ඔහුගේ දරුන්ව තිදෙනාගෙන් දෙදෙනකු වූ 21 හැවිරිදි පුත්‍රයා සහ 14 හැවිරිදි දියණිය හමුවීමට එහිදී සමත්විය .

නිදන කාමරයේ මෙට්ටය යටින් සිය සැමියාට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳ විස්තර සහිත හින්දි පුවත්පතක් එළියට ගත් රාජ්කුමාරි, තමන් සියලුදෙනාම තවමත් කම්පනයෙන් පසුවනබවත්, ඔහුගේ "චෝදිත අපරාධ අතීතය" ගැන ඔවුනට කිසිදු අවබෝධයක් නොතිබුණුබවත්, ඔවුන් මෙම නව හෙළිදරව්ව තවමත් විශ්වාස කිරීමට උත්සාහ දරමින් සිටිනාබවත් පැවසුවා ය.

ඕම් ප්‍රකාශ්ගේ පවුල ඔහුගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි සිතමින් මෙහි පැමිණියා නම්, එය නිරර්ථක ව්‍යායාමයක් වන්නට ඉඩ තිබිණි. මන්ද, ඔහු ගැන කීමට තරම් යහපත් ගතිගුණයක් ඔවුන් වෙත තිබුණේ නැත.

ඔහු තමා පාවාදුන්බවට ද ඔවුහු චෝදනා කරති. "මම එයාව බැන්දේ 1997 දී. ඔහු එතකොටත් විවාහවෙලා, හර්යානා ප්‍රාන්තෙ පවුලකුත් හිටිබව මම දැනන් හිටියේ නැහැ," රාජ්කුමාරි චෝදනා කරයි.

Om Prakash's son holds up a photo of his father from the family album
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕම් ප්‍රකාශ්ගේ පුත්‍රයා පවුලේ ඇල්බමයේ තිබූ තම පියාගේ ඡායාරූපයක් ගෙන දක්වයි

කවුද මේ ඕම් ප්‍රකාශ් -ඔහුට එල්ලවී ඇත්තේ කුමන චෝදනාවන් ද?

හර්යානා ප්‍රාන්තයේ පානිපත් දිස්ත්‍රික්කයේ නාරයනා ගම්මානයේ වැසියෙකු වූ "ඕම් ප්‍රකාශ් ඉන්දීය යුද්ධ හමුදාවේ සංඥා බලකායේ ට්‍රක් රථ රියදුරෙකු වශයෙන් වසර 12ක් සේවය කර, පසුව වසර හතරක් සේවයට වාර්තා නොකිරීම නිසා 1988 දී සේවයෙන් පහකර දැමුනුබව," උප පොලිස් පරීක්ෂක කුමාර් ප්‍රකාශ කරයි.

ඝාතනයට චෝදනා එල්ලවීමට පෙර ද ඕම් ප්‍රකාශ් කීප විටෙකම නීතිය සමඟ පැටලී ඇතිබව උප පොලිස් පරීක්ෂකවරයා පවසයි. 1986 දී මෝටර් රථයක් ද, ඉන් වසර හතරකට පසු යතුරුපැදියක් ද, මහන මැෂිමක් සහ ස්කූටරයක් ද සොරකම් කළබවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ. මෙම අපරාධ විවිධ දිස්ත්‍රික්කවල දී සිදුවී ඇති අතර ඇතැම් ප්‍රදේශවල දී ඔහු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇතිබව පොලිසිය පවසයි.

1992 ජනවාරි මාසයේ දී ඕම් ප්‍රකාශ් සහ තවත් පුද්ගලයෙකු බයිසිකලයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු කොල්ලකෑමට උත්සාහ කළ බව උප පොලිස් පරීක්ෂක කුමාර් විස්තර කළේ ය.

"ඒ මනුස්සය ඒකට විරුද්ධ වෙන්න ගියාම මොවුන් ඔහුට පිහියෙන් ඇන තිබෙනවා. ගමේ මිනිස්සු කට්ටියක් මොවුන්ව අල්ලගන්න දුවගේනා එනවා දකිද්දී මොවුන් තමන්ගේ ස්කූටරය මඟ දාලා දුවලා තියෙනවා," ඔහු චෝදනා කරයි.

අනෙක් පුද්ගලයා නීතියේ ග්‍රහණයට හසුව ඇති අතර, ඇප ලබා නිදහස්වීමට පෙර "වසර හතක හෝ අටක් බන්ධනාගාරයේ" ගතකර ඇතිබව ඔහු කියා සිටියි.

නමුත් ඕම් ප්‍රකාශ් අතුරුදන් වූ අතර, ඔහු ගැන හෝඩුවාවක් සොයාගැනීම ද අපහසු විය. පොලිසිය ඔහු "ප්‍රකාශිත වැරදිකරුවෙකුයැ"යි නිවේදනය කළ අතර ඔහුගේ ලිපිගොනුව දූවිලි වැදෙන්නට අත්හැර දමා තිබුණි.

ඔහුගේ අත්අඩංගුවෙන් පසු පොලිසිය පවසන්නේ, ඝාතනයෙන් පසු ගෙවුණු පළමු වසර ඔහු දකුණේ තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල කෝවිල්වල නවාතැන් ගනිමින් ගතකළේයැ යි ඔහු ඔවුන්ට පැවසූබව යි.

වසරකට පසු ඔහු නැවතත් උතුරු ඉන්දියාවට ගිය නමුත්, ගෙදර යනවා වෙනුවට ඊට කි.මී. 180ක් ඈතින් පිහිටි ගසියාබාද්හි පදිංචිවී, එහිදී ට්‍රක්රථ රියැදුරු රැකියාවක් සොයාගත්තේ ය.

1997 දී ඔහු හා විවාහවූ රාජකුමාරි පවසන්නේ ගසියාබාද්හි දී ඔහු ප්‍රසිද්ධව සිටින්නේ, 1990 ගණන්වල දී ඔහු පවත්වාගෙන ගිය චිත්‍රපට වීඩියෝ කැසට් රෙකෝඩර පට විකිණීමේ සහ කුලියට දීමේ වෙළඳසලක නමක් නිසා වැටුණු "බජ්රන්ග් බලී" හෝ "බජ්රන්ගි" යන නම්වලින්බව යි. ඔහු හමුදාවේ සේවය කළ නිසා ඔහුට "ෆාවුජි ටෝ" - සොල්දාදු මාමා - යන නම ද වැටී ඇතැ යි ඇය පවසයි.

2007 සිට ඔහු එම ප්‍රදේශයේ නිපදවෙන හින්දි භාෂා චිත්‍රපටවල ගම්මුලාදෑනියෙකු, දුෂ්ටයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු වැනි කුඩා චරිතවලට රඟපෑම, දෙබස් කීම, ගීතවලට නැටීම වැනි රැකියාවන්හි යෙදී ඇත. ඉන් 'තක්‍රව්' නම් එක් චිත්‍රපටයක් YouTube හරහා මිලියන 7.6 වරක් නරඹා ඇත. චිත්‍රපටයේ කුඩා කොටස් අඩංගු කෙටි වීඩියෝ තවත් මිලියන ගණනක් නැරඹුම් ලබා ඇත.

"ඔහු ඡන්ද කාඩ්පතක්, ආධාර් කාඩ්පතක් වැනි ලේඛන අඩංගු නවතම නිල ලියකියවිලි කට්ටලයක් ලබාගෙන තිබෙනවා," උප පොලිස් පරීක්ෂක කුමාර් පවසයි.

නමුත් පොලිසිය පවසන පරිදි ඕම් ප්‍රකාශ් එක් බරපතල වැරැද්දක් සිදුකළේ ය. ඔහුගේ සියලුම නිල ලියකියවිලිවල ඔහුගේත්, පියාගේත් සත්‍ය නාමයන් අඩංගුවූ අතර එයින්ම ඔහුගේ අපරාධය හෙළිදරව්වීමට පාර කැපුනේ ය.

Rajkumari sits outside her home

රාජ්කුමාරිගේ කතාව

ඕම් ප්‍රකාශ්ගේ නව පවුලට හෝ අසල්වාසීන්ට ඔහුගේ "සාපරාධී අතීතය" පිළිබඳ කිසිදු අවබෝධයක් නොතිබියේ ය යන්නට පොලිසිය එකඟ වේ.

සිය විවාහයෙන් පසුව, ඕම් ප්‍රකාශ් කුමක් හෝ යමක් සඟවමින් සිටියේයැ යි තමා වටහාගත්බව රාජ්කුමාරි පවසන්නී ය.

ඔහු ඇය නාරායනා ගමට ගෙනගොස් ඇතිමුත්, එහිදී ඔහු තම සහෝදරයා සහ පවුලේ අය ඇයට හඳුන්වාදී තිබුණේ තම මිතුරන් ලෙසිනි.

වසර කිහිපයකට පෙර, "එයාගේ කලින් කසාදේ නෝනා මෙහෙ ඇවිත් අපේ ගේ ඉස්සරහ කලබලයක් ඇතිකළාම තමයි මම ඒ ගැන දැනගත්තේ," ඇය පැවසුවා ය.

"එතකොට තමයි මමයි, අපේ වටේපිටේ ගෙවල්වල හැමෝමයි දැනගත්තෙ එයාට තවත් ජීවිතයක් - එයා හංගගෙන හිටපු කසාද ගෑණුකෙනෙක්, දරුවෙක් හිටියා කියලා. අපිව පාවාදුන්නා වගේ අපට දැනුණා."

විවාහය පුරාවට ඔහු බොහෝ දිනක් නිවසට නොපැමිණීම පුරුද්දක් කරගෙන සිටි නමුත්, ඔහු දිගුදුර ට්‍රක්රථ පදවන රියැදුරෙකුවීම ඊට හේතුවයැ යි ඇය සිතා සිටියා ය. නමුත් දැන් ඇය පුන පුනා පවසන්නේ ඒ ඔහු ඔහුගේ අනෙක් පවුල හමුවීමට ගිය නිසා විය යුතුබව යි.

ඔවුන්ගේ සම්බන්ධතාවය පිරිහීගියේ ය. යුවළ නිතිපතා රණ්ඩුසරුවල් වූ අතර 2007 දී ඔහු නැවත අතුරුදහන්විය.

"මට කොච්චර එපාවෙලා හිටිය ද කියනවා නම්, මම එයාව අයින්කරලම දැම්මා. මං පළාත් පාලන කාර්යාලෙට ගිහින් ලියවිල්ලක් ලියලා දුන්නා මට මේ මනුස්සයා එක්ක මීට පස්සේ කිසිම සම්බන්ධයක් නෑ කියලා. ඒත් අවුරුදු හතකට පස්සේ එයා ආයෙත් ආවා. එතැනින් පස්සේ සැරින් සැරේ යනවා එනවා," ඇය පවසයි.

"එයා අපට එක එක නම්වලින් බනිනවා, ඒ වුණාට එයා එන හැම වතාවෙම අපි එයා අපේ තාත්තා නිසයි, වයසක මනුස්සයෙක් නිසයි අනුකම්පාවට කෑම ටිකක් දෙනවා," ඔහුගේ 14 හැවිරිදි දියණිය කියා සිටියා ය.

රාජ්කුමාරි පවසන්නේ මීට පෙර වරක් ද, සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හර්යානා පොලිසිය ඔහු රැගෙන ගියබව යි.

"ඒ සැරේ මාස හය හතක් හිරේ හිටියා, ඒ වුණාට එයා ආපහු ඇවිත් අපට කිව්වා එයාව සියලු චෝදනාවලින් නිදහස් කළා කියලා," ඇය කියයි.

ඕම් ප්‍රකාශ් අත්අඩංගුවට පත්වූව ද, මිනීමැරුම් නඩුවේ පලාගිය අයගේ ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත්නොවීය. බොහෝ පොලිස් වාර්තා ඩිජිටල්කරණයකර නොතිබීම ද, පිට දිස්ත්‍රික්කවල පොලිසි සමඟ සන්නිවේදනය කිරීම හෝ තොරතුරු හුවමාරුකර ගැනීම පොලිසියේ සාමාන්‍ය පිළිවෙතක් නොවීම මෙයට හේතුවිය.

Omprakash with the police after his arrest
ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට පත්වූ පසු ඕම් ප්‍රකාශ් පොලිසිය සමඟ

ඔහු සොයාගත්තේ කෙසේ ද?

2020 දී - ප්‍රධාන වශයෙන් සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය වැටලීම්, ත්‍රස්තවාදය සහ ප්‍රාන්ත සීමා තරණය කිරීමට සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා හර්යානා විශේෂ කාර්ය බලකාය පිහිටුවා වසරකට පසු - ඕම් ප්‍රකාශ්ගේ ලිපිගොනුව නැවත විවෘත කරන ලදී.

බලකාය ඔහු ඔවුන්ගේ "අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ" ලැයිස්තුවට ඇතුළත්කළ අතර, ඔහු අල්ලාගැනීමට මඟපෙන්වන තොරතුරු සඳහා ඉන්දියානු රුපියල් 25 000ක (ලංකාවේ මුදලින් රු. 113 200ක් පමණ) ත්‍යාගයක් ප්‍රකාශයට පත්කළේ ය.

අතීතයේ ද, බොහෝ කලක් - ඇතැම්විට දශක ගණනක් - තිස්සේ නීතියෙන් වසංව හිටි අපරාධකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථා තිබේ. වසර ගණනක් තිස්සේ අපරාධ සම්බන්ධ පුවත් පිළිබඳ තොරතුරු සොයමින් ගසියාබාද්හි රැඳී සිටින ඉන්දියන් එක්ස්ප්‍රස්හි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන අමිල් භාත්නගර් පවසන්නේ "සාමාන්‍යයෙන් පොලීසිය කාලෙකට කලින් අතෑරල දාපු කේසස් ආපහු ඕපන් කරන්නේ ඒවා ත්‍රස්තවාදයට හරි, අනවතර ඝාතනයන්ට හරි සම්බන්ධ නම් හෝ ඒ ගැන ඔත්තුවක් ලැබුණොත් හෝ විතර යි," යනුවෙනි. බලකාය විසින් මෙම විමර්ශනය යළි ආරම්භ කෙරුනේ ඇයිදැ යි පැහැදිලි නැත.

නමුත් දෙමසකට පෙර පොලිසිය නාරායනා ගම්මානය වෙත ගොස් "ඕම් ප්‍රකාශ් පිළිබඳ යම් හෝ මතකයක් තිබිය හැකි වයස අවු. 50 - 60 අතර සිටි පුද්ගලයින් සමඟ කතාබහකර ඇත."

ඔවුන්ට සිය ප්‍රථම හෝඩුවාව ලැබුණේ එහිදී ය - වසර 20කට පමණ පෙර ඕම් ප්‍රකාශ් නැවත ගම බලා පැමිණ ඇති අතර, ඔහු උත්තර් ප්‍රදේශ්හි කොහේ හෝ වෙසෙයි.

දෙවන ගමනේ දී ඕම් ප්‍රකාශ්ගේ නමින් ලියාපදිංචි දුරකථන අංකයක් ඔවුන් සොයාගත් අතර අවසානයේ දී ඔහුගේ නව ලිපිනය සොයාගැනීමට ඔවුන් සමත්විය.

"පොලිසිය සතියක් තිස්සේ ඒ ප්‍රදේශය නිරීක්ෂණය කරලා ඔහුගේ නිවෙස හඳුනාගත්තා. තමන් ළඟ තිබ්බේ අවුරුදු 30ක් පරණ ඔහුගේ පින්තූරයක් නිසා ඔහුව හඳුනාගන්න අපහසු වුණා කියලත් කණ්ඩායම ප්‍රකාශ කළා.

"අපට තහවුරු කරගන්න ඕනේ වුණා මෙයා තමයි මිනිහා කියලා," උප පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

"මේ ඔපරේෂන් එක ඉතාම රහසිගතව සිද්ධවුණේ. මොකද එක වැරදි පියවරකින් මේ තැනැත්තා තවත් අවු. 30කට අතුරුදන් වෙයි කියලා අපි බයවුණා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Om Prakash's son holds up a photo of his father from the family album

මීළඟට සිදුවන්නේ කුමක් ද?

මෙතරම් කාලයක් පළාගොස් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම විශේෂ කාර්ය බලකායේ ජයග්‍රහණයක් ලෙස සලකනු ලැබුව ද, පොලිසියට සැබෑවටම දුෂ්කර වන රාජකාරිය ඇරඹෙන්නේ මෙතැන් පටන්බව උප පොලිස් පරීක්ෂක භාත්නගර් කියා සිටියි.

"තමන් අල්ලාගත්තේ නිවැරදි පුද්ගලයා කියලා අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න එයාලට සිද්ධවෙනවා. ඒ වගේම අධිකරණයටත් සිද්ධවෙනවා ඔහු නිවැරදි පුද්ගලයා ද, ඔහුට චෝදනා එල්ලවී ඇති අපරාධය ඔහු සිදුකළේ ද යන්න ගැන ඉතා ගැඹුරින් පරීක්ෂා කරන්න."

අපරාධය සිදුවූයේ දශක ගණනාවකට පෙර ය යන්න සැලකූ විට සාක්ෂිවල ගුණාත්මකභාවය පිළිබඳව ද අවධානය යොමුවනබව උප පොලිස් පරීක්ෂකවරයා කියා සිටියි.

"සාක්ෂි දුර්වලවී යෑම අපරාධ නඩුවල ඉතා ප්‍රත්‍යක්ෂ අංගයක්. පොලිසියටත්, අභිචෝදනයටත් ශක්තිමත් නඩුවක් ගොඩනැගීම අපහසු කාර්යයක් වෙන්න පුළුවන්."

ඔහු අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇය ඔහු දැකීමට ගියාදැ යි, ඔවුන්ගේ නිවසෙන් පිටව යන්නට පෙර රාජ්කුමාරිගෙන් විමසුවෙමු.

"එයාව හම්බවෙන්න ඕනේ නම් අපේ අයිඩින්ටි කාඩ් දෙන්න ඕන කියලා පොලිසිය කියනවා. ඒ වුණාට මට එහෙම කරන්න ඕන නෑ. ඒකෙන් සිද්ධවෙන හොඳේ මොකද්ද?"