ඉන්දියාවේ පශු වෛද්‍යවරියක දූෂණය කර පුළුස්සා මරා දැමීම: සැකකරුවන් පොලිස් වෙඩි පහරින් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පසුගිය සතියේදී ඉන්දියාවේ හයිදරාබාද්හිදී තරුණ පශු වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කළ බවට සැක කෙරුණු පුද්ගලයන් සිව් දෙනෙකු ඉන්දීය පොලිසිය වෙඩි තබා ඝාතනය කර තිබේ.
අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර සිකුරාදා (දෙසැ: 06) පෙරවරුවේ ඔවුන් අපරාධය සිදුවූ ස්ථානය වෙත රැගෙන යනු ලැබිණි.
ඉන්දීය පොලිසිය බීබීසී තෙලුගු සේවයට පැවසුවේ, සැකකරුවන් පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන පළා යාමට තැත් කළ අවස්ථාවේදී ඔවුන්ට වෙඩි තැබූ බවය.
ඝාතනයට ලක්වූ 27 හැවිරිදි පශු වෛද්‍යවරියගේ පුළුස්සා දමන ලද මළ සිරුර පසුගිය බ්‍රහස්පතින්දා හමු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය නිසි පියවර නොගත් බව පවසමින් දැඩි විරෝධතා පැවැත්විණි.


සැකකරුවන් ඝාතනය කෙරුණු බවට පුවත් පළ වීමෙන් පසුව, අදාළ පශු වෛද්‍යවරියගේ මව බීබීසී පුවත් සේවයට පැවසුවේ, "සාධාරණය ඉටු වුණා," යනුවෙනි.
මේ අතර, පශු වෛද්‍යවරියගේ අසල්වාසීන් රතිඤ්ඤා පත්තු කරමින් සතුට පළ කළ අතර, පොලිසියට ආචාර පුද කරමින් දහස් ගණනක් ජනතාව වීදි බැස තිබිණි.
සිකුරාදා සිදුවූයේ කුමක් ද?
සයිබරාබාද් පොලිස් කොමසාරිස් වී.සී සජ්ජනර් බීබීසී තෙලුගු සේවයට පැවසුවේ, අපරාධය සිදු වූ ආකාරය පළිබඳ දැන ගැනීම සඳහා සදහා අදාළ සැකකරුවන් ඝාතනය සිදුවූ ස්ථානය වෙත රැගෙන යනු ලැබූ බවය.
ඔවුන් නිලධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන පළා යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ඔවුන්ට වෙඩි තැබූ බව පොලිස් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා තිබිණි.
පශු වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් පසු ඉන්දීය පොලිසිය දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන් ඝාතනය සිදුවී පැය දෙකක් ගත වන තුරුත් පොලිසිය ක්‍රියාත්මක නොවූ බවට වෛද්‍යවරියගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කළහ.
පශු වෛද්‍යවරියගේ පවුලේ ප්‍රතිචාරය කුමක් ද?
බීබීසී තෙලුගු සේවයේ දීප්ති බතිනි පශු වෛද්‍යවරිය පදිංචි වී සිටි නිවසට ළඟා වන විට අසල් වැසියන් වීදි බැස රතිඤ්ඤා පත්තු කරමින්, රස කැවිලි බෙදමින් සතුටු වනු දැකගත හැකි විය.
"මට ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. මට සතුටක් දැනෙනවා ඒත් මගේ දුව ආයෙත් එන්නෙ නැති බව මතක් වෙද්දි ලොකු දුකක් ඇති වෙනවා," යනුවෙන් ඝාතනයට ලක්වූ පශු වෛද්‍යවරියගේ මව පැවසීය.
"මගේ දුවගේ ආත්මයට සැනසීමක් ලැබුණා දැන්. සාධාරණය ඉෂ්ට වුණා. මම හිතුවෙ නෑ සාධාරණය ඉෂ්ට වෙයි කියලා. මගේ දුවට වෙච්ච දේ වෙන කිසි ම ගැහැණු දරුවෙකුට නොවිය යුතුයි."
මව වැඩිදුරටත් පැවසුවේ, ලිංගික අපයෝජන සහ දූෂණ සම්බන්ධයෙන් පවතින නීති තවත් දැඩි කළ යුතු බවය.
"දඬුවම් දැඩි කළොත් කාන්තාවක් දිහා බලන්නත් පිරිමි බය වෙනවා."
ඝාතනයට ලක්වූ පශු වෛද්‍යවරියගේ සොහොයුරිය පැවසුවේ, පොලිසිය ක්‍රියා කළ ආකාරය "ඉතා අනපේක්ෂිත" බවය.
"අධිකරණය යුක්තිය ඉටු කරයි කියල මම විශ්වාසයෙන් හිටියේ. මේ දෙයින් මගේ සහෝදරිය ආයෙත් එන්නේ නෑ. ඒත් ඒක ලොකු සහනයක්. පොලිසිය කළ දේ නිසා මෙවැනි දේවල් කරන්න කලින් මිනිස්සු දෙවරක් හිතයි," ඇය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් ප්‍රශංසාත්මක අදහස් පළ විය.
ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වා තිබූ වැඩි පිරිසක් පොලිසියට ප්‍රශංසා කරමින් "ඔවුන් සාධාරණය ඉටු කළ" බව පවසා තිබිණි.








