මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල ඉහළට දැමීමෙන් ඇති බලපෑම කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අද (මැයි 24) පෙ.ව. 03:00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගත්තේ ය. ඒ නව මිල සූත්‍රයකට අනුව යි.
අද අළුයම සිට ක්‍රියාත්මක නව මිල ගණන් මෙසේ ය:
පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 420 දක්වා, රුපියල් 82කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 දක්වා රුපියල් 77කින් ද මිළ ඉහළ දමා තිබේ.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 දක්වා රුපියල් 111කින්, සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 445 දක්වා රුපියල් 116කින් ඉහළ දමා තිබේ.
සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව අද (24) අළුයම 3 සිට තම සමාගම ද එම අගයන්ගෙන්ම ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා IOC සමාගම පැවසීය.
මෙයට පෙර අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාස 06 ක් තුළ අවස්ථා 6 කදී ඉන්ධන මිල ඉහළ දමා ඇත.
පසුගිය මාස හය තුළ ඩීසල් මිල සියයට 230 කින් සහ පෙට්‍රල් මිල සියයට 137 කින් ඉහළ ගොස් තිබේ.
අප්‍රේල් මාසයේ රටේ සමස්ත උද්ධමනය සියයට 33.8 ක් බවත් ආහාර උද්ධමනය සියයට 45.1 ක් බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳුදා නිකුත්කළ දත්ත පෙන්නුම් කරයි.
මිල සූත්‍රය
කැබිනට් අනුමැතිය හිමිවූ ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර පැවසුවේ ය.
ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා එම ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දමා ඇතැ යි පැවසේ.
ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම්, සහ බදු මුදල් මිල සංශෝධනයට ඇතුළත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බව ද රජය නිවේදනය කළේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මෙම ඉහළ දැමීමට අනුපාතිකව අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සඳහා ද අනුමැතිය හිමිවනු ඇත. ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
මිල සූත්‍රය සෑම දෙසතියකට වරක් හෝ මාසිකව යොදනු ලැබේ.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා ප්‍රවාහනයට බාධා නොකරන ලෙසත්, ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ ප්‍රවාහන අංශයෙන් සමග සාකච්ඡා කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය දැනුම් දී තිබේ.
අද (මැයි 24)සිට ආයතන ප්‍රධානියාගේ මඟපෙන්වීම මත රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍යම ශ්‍රම බලකාය පමණක් සේවයට කැඳවනු ලබන බවට රජෞඅ පවසයි. ඉන්ධන භාවිතය අවම කිරීම සහ බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීම සඳහා නිවසේ සිට වැඩකිරීම දිරිමත් කිරීමට පියවරගන්නා බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.
මේ අතර ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අද (24) දහවල් 12ට පෙර මිල ගණන් පිළිබඳ තමන්ට තීරණයක් ලබා දිය යුතු බව යි.
ඩීසල් මිල දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත්, ජාතික ප්‍රතිපත්තියට අනුව මිල සංශෝධනය කරන ලෙසත් ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලා ඇතැ යි ඔහු ප්‍රකාශ කළේ ය.
ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් ඉහළ යෑමත් සමඟ දිනකට බස් රථයකට රුපියල් 11,000 ක පාඩුවක් වන බවත් ඉන්ධන සහනාධාරයක් නොදෙන්නේ නම් බස් ගාස්තුව සියයට 35 කින් ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් අද (24) පෙරවරුවේ මාධ්‍යට පැවසීය.
අවම බස් ගාස්තුව රුපියල් 27 සිට 35 දක්වා වැඩිවිය යුතුත් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් හෙට සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කිරීමට සූදානම් බව ඔහු සඳහන් කළේය.
මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රුයදුරන්ගේ සංගමය පැවසුවේ අවම ගාස්තුව රුපියල් 10කින් වැඩිකර රුපියල් 100ක් ලෙස අයකරන බවත් දෙවන කිලෝමිටරයේ සිට කිලෝමිටරයකට අයකරන ගාස්තුව රුපියල් 80 ලෙස ඉහළ දමන බවයි.
ඉන්ධන නිකුත්කරන සීමාවන් වෙනස් කරයි
ඉන්ධන නිකුත් කරන සීමාවන් ද ඉන්ධන මිල සංශෝධනය සමඟ සංශෝධනය වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද පැවසීය.
ඒ අනුව යතුරුපැදියක් සඳහා නිකුත් කරන ඉන්ධන සීමාව රුපියල් 2,000 සිට 2,500ක් දක්වාත් ත්‍රිරෝද රථයක් සඳහා රුපියල් 2,000 ක වූ සීමාව රුපියල් 3,000ක් දක්වාත්, රුපියල් 8000ක් වූ අනෙකුත් වාහනවලට ලබාදෙන ඉන්ධන සීමාව රුපියල් 10,000ක් දක්වාත් ඉහළ නංවන බවත් අමාත්‍යවරයා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙදී සඳහන් කළේය.










