අස්වැසුම ගැන ප්‍රතිවිරුද්ධ අදහස්: සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දිය යුත්තේ ඇයි? කාට ද?

Rural woman preparing food in traditional home kitchen. Domestic life in Sri Lanka.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 7

අප්‍රේල් 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින පිරිස් සඳහා විශේෂ සහන පැකේජයක් ලබා දෙන බවට නිවේදනය කළේය. ඒ අනුව "අස්වැසුම" දීමනාව ඉහළ දැමීමට ද කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් සමාජය තුළ මතුවෙමින් තිබෙන අතර, ඇතැමෙක් එම පියවර විවේචනය කොට ඒ සඳහා සිය විරෝධය ද තවත් පිරිසක් එය අගය කරමින් එම තීරණය සඳහා සිය සහාය ද පළ කොට තිබේ.

විරෝධය පළ කරන බොහෝ දෙනෙකුගේ තර්කය වී ඇත්තේ "රැකියාවක් කිරීමට හැකියාව තිබියදී රැකියාවක් නොකරන" පිරිස් වෙත අස්වැසුම දීමනා ලබා දීම වැරදි බවයි.

තවත් පිරිසක් චෝදනා කරන්නේ අස්වැසුම ප්‍රතිලාභ ලැබෙන්නේ සැබවින් ම ඒවා ලැබිය යුතු කාණ්ඩයේ පිරිස් වෙත නොවන බවයි.

මේ වන විට 2026 වසර සඳහා අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.

එමෙන් ම අප්‍රේල් 10 දක්වා එලෙස සුදුසුකම් ලබා ඇති පිරිස් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ගොනු කිරීමට ද එම වෙබ් අඩවිය හරහා හැකි ය.

'අස්වැසුම' යනු කුමක් ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් වන ආර්ථිකය අතින් අවදානම් සහගත තත්වයක සිටින පුද්ගලයන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැල් සකස් කිරීමේ එක් පියවරක් වශයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් "අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන ආරම්භ කළේ 2023 වසරේදී ය.

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද, 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

ඒ යටතේ සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ආරම්භ කෙරිණි.

රු. 17,500.00, රු. 10,000.00 සහ රු. 5,000.00 වශයෙන් දැනට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සිදු කෙරේ.

අප්‍රේල් මාසයට පමණක් අන්ත දිළිඳු කණ්ඩයේ පවුලකට රුපියල් 17,500.00 ප්‍රතිලාභය රුපියල් 25,000.00 දක්වාත්, දුප්පත් කාණ්ඩයේ පවුලකට රුපියල් 10,000.00 ප්‍රතිලාභය 15,000.00 දක්වාත්, සංක්‍රාන්තික පවුලකට රුපියල් 5,000.00 ප්‍රතිලාභය රුපියල් 7,500.00 දක්වාත් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය මාර්තු මාසයේදී පවුල් ලක්ෂ 16.6කට වැඩි ප්‍රමාණයකට අස්වැසුම ප්‍රතිලාභය හිමිව ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රු. මිලියන 13,530කි.

විරෝධතා ඇතිව තිබෙන්නේ ඇයි?

විරෝධය දක්වන ඇතැම් පිරිස් තර්ක කරන්නේ ඔවුන්ගේ බදු මුදල් මෙලෙස "සුදුසුකම් නොමැති පිරිස් වෙත සහනාධාර ලෙස ලබා දීමට" යොදාගැනීමට ඔවුන් විරුද්ධ බව ය.

Tech With Wicky නමැති ෆේස්බුක් පිටුවේ "මේ තියෙන්නේ යාපනේ එක ගමක අස්වැසුම ලාභීන්ගේ ලිස්ට් එක, පවුල් 384ක් ඉන්නවා අස්වැසුම ලාභීන් .... හිතන්න අපේ පැත්තේ නම් ගමක පවුල් ඉන්නෙත් උපරිම 400ක් විතර. ඒ කියන්නේ මුළු ගම ම සමහරවිට අස්වැසුම අරන් තියෙන්නේ," යනුවෙන් සඳහන් කර තිබිණි.

Tech With Wicky නම් ෆේස්බුක් ගිණුමේ "මේ තියෙන්නෙ යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක, පවුල් 384ක් ඉන්නවා අස්වැසුම ලාබීන්.... හිතන්න අපේ පැත්තෙනම් ගමක පවුල් ඉන්නෙත් උපරිම 400ක් විතර. ඒ කියන්නෙ මුළු ගම ම සමහරවිට අස්වැසුම අරන් තියෙන්නෙ," යනුවෙන් සඳහන් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, එම සටහන සඳහා විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ද ෆේස්බුක් හරහා ලැබී තිබිණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"මේ මහ දවල් මහජන බදු මුදල් හොරකම් කිරීම නැවැත්විය යුතුමයි... මේ කරන්නෙ අමු අමුවේ රටේ ආර්ථිකය වළපල්ලට යවන ගමන් යැපුම් මානසිකත්වය බෝ කර කර තව දුප්පතුන් හදාගෙන නඩත්තු කිරීම," යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් බීබීසී සිංහල විසින් සිදු කළ තොරතුරු සොයාබැලීමකදී පැහැදිලි වූයේ එය 2022 වසරේ ලැයිස්තුව බව යි.

ඔහු පෙන්වා දී ඇති අල්වායි උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ මෙම වසරේ නව ලැයිස්තුව අනුව දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ 30කටත් අඩු පිරිසකි.

2022 වසරේ මෙම ලැයිස්තුව සකස් කරන වකවානුව වන විට ග්‍රාම නිලධාරීවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටි අතර, තොරතුරු රැස් කිරීම සඳහා සංවර්ධන නිල්ධාරින් සහ ස්වේච්ඡා සේවකයන් යොදා ගෙන තිබුණි.

මීට පෙර ක්‍රියාත්මක වූ ජනසවිය, සමෘද්ධිය වැනි සමාජ ආරක්ෂණ දීමනා සඳහා පුද්ගලයන් තෝරාගත් ආකාරය සම්බන්ධයෙන් මෙන් ම මේ සඳහා ද ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දේශපාල අතපෙවීම් සිදුවූ බවට එකල ඇතැම් පිරිස් චෝදනා කළහ.

පසුව වසරින් වසර වසර මෙම පද්ධතියේ ප්‍රතිලාභ ලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කෙරී ඇත.

ධනුෂ්ක විජේසිංහ නම් තවත් අයෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස ඒ සම්බන්ධයෙන් සටහන් කර තිබිණි.

ධනුෂ්ක විජේසිංහ නම් තවත් අයෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස ඒ සම්බන්ධයෙන් සටහන් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, facebook

"හැම ආණ්ඩුවක්ම කරේ මධ්‍යම පාන්තික උත්සහවන්ත මිනිස්සුන්ට පහර පිට පහර ගහන එක.අස්වැසුම ගන්න 90%ක මිනිස්සු, මධ්‍යම පාන්තික කිසිදු දීමනාවක් නොලැබෙන මිනිසුන්ට වඩා උසස් ජීවන තත්ත්වයක් ගත කරනවා..ඒක ලංකාවම දන්න ප්‍රසිද්ධ රහසක්..

ඔය මුදල වැඩි කරාට බහුතරයක් පවුල් වලට ඒක භුක්ති විදින්න ලැබෙන්නෙ නෑ.සියලුම ජනතාවට යහපතක් වෙන ආකාරයට ඔය මුදල භාවිත කරල අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අඩු කරන්න තිබ්බා…"

එමෙන් ම චාරුක හිරාන් ධනංජය නම් තවත් අයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙවැනි සමාජ ආරක්ෂණ ලබා ගන්නා අය රජයේ පොදු වැඩ සඳහා යොදාගත යුතු බව ය.

එමෙන් ම චාරුක හිරාන් ධනංජය නම් තවත් අයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙවැනි සමාජ ආරක්ෂණ ලබා ගන්නා අය රජයේ පොදු වැඩ සඳහා යොදාගත යුතු බව ය.

ඡායාරූප මූලාශ්‍රය, facebook

'IMF වැඩසටහනේ පවා සමාජ ආරක්ෂාවට වියදම් කරන්න කොන්දේසියක් තිබෙනවා'

ආර්ථික විශේෂඥයෙකු වන උමේෂ් මොරමුදලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක සඳහන් කර ඇත්තේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලවල් දියත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවා කොන්දේසියක් ඇති බව ය.

ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇති එහි දල සිංහල පරිවර්තනයක් මෙසේ ය.
"අස්වැසුමට අමතර මුදලක් එක් කිරීමෙන් කෝපයට පත් මධ්‍යම පාන්තික පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් මම පුදුම වෙනවාද? කොහෙත්ම නැහැ. ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියට දශක ගණනාවක් තිස්සේ සහනාධාර රාශියක් ලැබුණා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මහපොළ දීමනාව ඇතුළුව නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුණා. හදිසියේම ඔවුන් දැන් 'නොමිලේ දෙන දීමනාවලට' විරුද්ධ වෙලා," ඔහු සටහන් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇති එහි දල සිංහල පරිවර්තනය මෙසේ ය.

"අස්වැසුමට අමතර මුදලක් එක් කිරීමෙන් කෝපයට පත් මධ්‍යම පාන්තික පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් මම පුදුම වෙනවා ද? කොහෙත්ම නැහැ. ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියට දශක ගණනාවක් තිස්සේ සහනාධාර රාශියක් ලැබුණා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මහපොළ දීමනාව ඇතුළුව නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුණා. හදිසියේම ඔවුන් දැන් 'නොමිලේ දෙන දීමනාවලට' විරුද්ධ වෙලා," ඔහු සටහන් කර තිබේ.

"IMF වැඩසටහනේ පවා සමාජ ආරක්ෂාවට දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 0.6% ක් වියදම් කරන්න කොන්දේසියක් තිබෙනවා. ඒක මේ වසරේ දළ වශයෙන් රුපියල් බිලියන 250ක් පමණ වෙනවා."

එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ තේරීම් නිර්ණායක, දත්ත එකතු කිරීම ආදියෙහි ගැටලු පවතින බවත් ඒවා නිවැරදි කළ යුතු බවත් ය.

"නමුත් අර්බුදයකදී දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා හොඳ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් පැවතිය යුතුයි. එවැනි දීමනාවක් වැඩි කිරීම නිවැරදි දෙයක්."

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක පෙන්වා දී ඇත්තේ තෝරාගැනීමේ ක්‍රියාවලියේ යම් යම් දෝෂ පැවතිය ද, සමාජ ආරක්ෂණ ලබා දීම වැරදි නොවන බව ය.

"මේ රටේ සෑම පුද්ගලයෙක්ම බදු ගෙවනවා. දුප්පතුන් සමානුපාතික නොවන ලෙස වැඩි මුදලක් ගෙවනවා. ඒක තමයි ගැටලුව," ඇය සිය සටහනේ සඳහන් කර තිබේ.
"[මේ] රජය බලයට පත් වූ විට PAYE බදු ගෙවන්නන් මත තිබූ බදු බර ඇත්තෙන් ම අඩු කළා. වැට් බද්ද එහෙම වුනෙ නෑ. තෝරාගත් කිරි නිෂ්පාදන පමණයි වැට් බද්දෙන් නිදහස් වුණේ."
"තෝරා ගැනීමේ ක්‍රියාවලිය නිසා අස්වැසුම [සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ] යෝජනා ක්‍රමයක් ලෙස දෝෂ සහිතයි. කෙසේ වෙතත්, සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කළ යුතුය යන අදහස වැරදි එකක් නෙවෙයි,"

ඡායාරූප මූලාශ්‍රය, Facebook

"මේ රටේ සෑම පුද්ගලයෙක්ම බදු ගෙවනවා. දුප්පතුන් සමානුපාතික නොවන ලෙස වැඩි මුදලක් ගෙවනවා. ඒක තමයි ගැටලුව," ඇය සිය සටහනේ සඳහන් කර තිබේ.

"[මේ] රජය බලයට පත් වූ විට PAYE බදු ගෙවන්නන් මත තිබූ බදු බර ඇත්තෙන් ම අඩු කළා. වැට් බද්ද එහෙම වුණේ නෑ. තෝරාගත් කිරි නිෂ්පාදන පමණයි වැට් බද්දෙන් නිදහස් වුණේ."

"තෝරා ගැනීමේ ක්‍රියාවලිය නිසා අස්වැසුම [සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ] යෝජනා ක්‍රමයක් ලෙස දෝෂ සහිතයි. කෙසේ වෙතත්, සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කළ යුතුය යන අදහස වැරදි එකක් නෙවෙයි," ඇය පෙන්වා දී තිබේ.

සමාජ ආරක්ෂණ ලබා දිය යුත්තේ ඇයි?

තම මානව හිමිකම් සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව අහිමි වන අවස්ථාවකට මුහුණ දෙන අවස්ථාවක, සියලු පුද්ගලයින්ට මානව ගරුත්වය සහතික කිරීම සඳහා සමාජ ආරක්ෂණ අයිතිය කේන්ද්‍රීය වැදගත්කමක් දරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියේ දැක්වේ.

අසනීප, ආබාධිතභාවය, මාතෘත්වය, රැකියාවේ අනතුරු, විරැකියාව, මහලු වීම හෝ පවුලේ සාමාජිකයෙකුගේ මරණය හේතුවෙන් ඇතිවන රැකියාවකින් ලබා ගන්නා අදායමක් නොමැති වීම, සෞඛ්‍ය සේවාවල මිල ගණන් දැරීමට නොහැකි වීම, විශේෂයෙන් ළමුන් සහ වැඩිහිටි යැපෙන්නන් සඳහා ප්‍රමාණවත් සහයෝගයක් පවුලෙන් නොලැබීම වැනි අවස්ථාවලදී එවැනි අය ඉලක්ක කරගනිමින් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම වැදගත් බව එහි සඳහන් වේ.

දරිද්‍රතාවය අඩු කිරීම සහ අවම කිරීම, සමාජයෙන් එවැනි අවදානමක් සහිත අය බැහැර කිරීම වැළැක්වීම සහ ඔවුන් ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජ ආරක්ෂණය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව එම සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානයට අනුව, වයස්ගත පුද්ගලයන්ට, විශේෂයෙන් ම වයස්ගත කාන්තාවන්ට සහ අබාධ සහිත තැනැත්තන්ට මෙම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම වැදගත් ය.

තරුණයින්ට විරැකියාවෙන් සිදුවන ඍණාත්මක බලපෑම් අවම කිරීම, වැඩිදුර අධ්‍යාපනයට ප්‍රවේශය නිර්මාණය කිරීම, පාසලෙන් රැකියාවට සංක්‍රමණය වීමට පහසුකම් සැලසීම සහ ඔවුන්ගේ ශ්‍රම වෙළඳපොළ අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා සමාජ ආරක්ෂණය ඉතා වැදගත් බව එම සංවිධානය තවදුරටත් පවසයි.