VAT: ඔබේ ජීවන රටාව වෙනස් කිරීමට බලපෑවේ කොහොමද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශපාලන හා ආර්ථික අර්බුද වලින් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකීය ජනතාවට ජනවාරි 01 වැනිදා සිට වැඩි වු බදු බර ද උසුලාගෙන 2024 වසර ගෙවන්නට සිදුව තිබේ.
අලුතින් භාණ්ඩ සියයකට වැඩි ප්‍රමාණයකට වැට් එකතු වීම මෙන්ම 15% ක්ව තිබු වැට් 18% දක්වා ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීම හමුවේ ජනතාවගේ ජීවන රටාවන් වෙනස් කර ගැනීමට බල කෙරී ඇත.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි වැට් වැඩිවීම හා අලුතින් වැට් පැනවීම හරහා වැඩීම බලපෑමක් එල්ල වී ඇත්තේ නාගරිකව දිවි ගෙවන ජනතාවටයි.
පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත අරුණ 2023 වසර අවසානයේ සැමරුම්වලට සුදානම් වෙනවා වෙනුවට සිදුවී ඇත්තේ ආර්ථිකයට අලුතින් එකතු වු බදු බර සමගම 2024 නව වසරේ තම ජීවන රටාව වෙනස් කර ගැනීමට ලෑස්ති වීමටය.
'අලුතින් පොතක් අරන් කියවන එක පවා මිනිස්සුන්ට හීනයක් වෙයි'
“මේ පාර 31 වෙනිදා රතිඤ්ඤා දාලා මිනිස්සු ලෑස්ති වුනේ අලුත් අවුරුද්දේ ඉඳන් තමන්ට වෙන විනාසෙට සුදානම් වෙන්න. කොරෝනා හින්දා මිනිස්සු වැටුනා, ඊට පස්සේ ආර්ථිකය කඩා වැටිලා, අරගල කරලා යාන්තම් ඔලුව උස්සගෙන එද්දි වැට් එකෙන් ආයේ නැගිටින්න බැරි වෙන්නම දුන්නා.” යැයි අරුණ බීබීසී සිංහල සේවය හා කතා බහකට එක් වෙමින් කියා සිටියේය.
අරුණ පවසන පරිදි ඔහු මෙතෙක් කලක් ගෙවු ජීවන රටාව වෙනස් කර ගන්නට ඔහුට මෙන්ම පවුලේ උදවියට සිදුව ඇති අතර එයට සුදානම් වන ආකාරය ඔහු විස්තර කළේය.
“අපි අවුරුද්දේ අන්තිම ගිහිල්ලා ගණන් වැඩි වෙන්න කලින් ඇඳුම් ටිකක් ගත්තා වැඩි කාලයක් අඳින්න පුලුවන් විදියට. ළමයාට ඕන කරන පොත් පත් ඉස්කෝලෙට ඕන කරන දේවල් ගත්තා. වැට් එක වඳින්න කලින් වුනත් ඒවාගේ මිල වැඩියි. අපි හැමෝම ගාව මොබයිල් ෆෝන් තියෙන නිසා ගෙදර ටෙලිෆෝන් එක අයින් කරන්න අපි තීරණය කළා, එහෙම හරි වියදම් අඩු කරගන්නේ නැතුව ඉස්සරහට ජීවත් වෙන්න බැරි වෙයි.”
“ඉස්සරහට කාලා බීලා, බිල් ටික ගෙවාගෙන ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැරි වෙයි. විනෝද ගමනක් යන එක, පාටියක් දාන එක විතරක් නෙමෙයි අලුතින් පොතක් අරන් කියවන එක පවා මිනිස්සුන්ට හීනයක් වෙයි.” බදු බරින් ජීවන රටාව වෙනස් වන ආකාරය අරුණ එසේ විස්තර කළේය.
මත් වී විනෝද වීමට හරස් වු බදු වැඩි වීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ග්‍රැෆික් නිර්මාණ ශිලිපියකු වන සංජීව දවසේ බොහෝ කාලයක් පරිගණකය සමග සිය රැකියා කටයුතු කරමින් ගෙවා දමන අතර ඉන් ලැබෙන විවේකයේ දී මානසික සුවය හා මිතුරු හමුවීම්වලට කාලය මිඩංගු කරයි.
රැකියාවෙන් ලැබෙන විවේකයේ දී සිය මිතුරන් හා මධුවිත තොලගාමින් විනෝද වන ඔහුට නව බදු සංශෝධනය හරහා මත්පැන් හා සිගරට් මිල ඉහළ යාම හමුවේ තම මානසික සුවය සඳහා කළ හැකි වෙනත් යමක් සොයා ගන්නට සිදුව තිබේ.
“මම දවසම වැඩ කරන්නේ කම්පියුටරේ, තනියම කිසිම මනුස්ස ආශ්‍රයක් නැහැ. ඉතින් මම රිලැක්ස් වෙන්න ඉඩක් තියෙන වෙලාවට බියර් එකක් අරක්කු ටිකක් බොනවා. ගොඩක් වෙලාවට මගේ යාලුවෝ එක්ක තමයි එහෙම සෙට් වෙන්නේ. ඒත් දැන් එහෙම කරන්න බෑ, බියර්වල අරක්කුවල එකක ගාන කීයද? සිගරට් පැකට් එකත් රුපියල් 100 කින් විතර වැඩි වෙලා.”
ඔහු පවසන පරිදි වැට් වැඩිවීමත් සමගම මිතුරු සාද හමාර වී තනිව මත් වී විනෝද විමේ රටාවකට හුරු වීමට සිදුව තිබේ.
“ඉස්සර රුපියල් 4000කට විතර කාපු බීපුවට දැන් රුපියල් 10,000ක් විතර වියදම් කරන්න වෙලා. එහෙම කරලා කොහොමද අනිත් දේවල් කරන්නේ. දැන් තනියම සෙට් වෙන්න තමයි වෙලා තියෙන්නේ, එකේ කිසි විනෝදයක් නැහැ. කතා බහ කරන්න කවුරුත් නැහැ. ආණ්ඩුව මිනිස්සුන්ට කාලා බීලා ඉන්න එකත් නැති කරලා තියෙන්නේ. ආණ්ඩුව මේ කරන වැඩ සිහියෙන් බලන් ඉන්න බැරි නිසා මත්වෙන්න හැදුවාම උන් ඒකත් නැති කරලා.” යැයි බදු බර නිසා තම විනෝදයට බාධා එල්ල වී ඇති සංජීව බීබීසී සිංහල වෙත පැවසීය.
“ඉන්ටර්නෙට් බිල, කම්පියුටර් පාර්ට්ස් එහෙම දැන් ගොඩක් ගණන් ගිහිල්ලා තියෙන්නේ. මට වැඩ කරන වෙලාව වගේම කරන වැඩ ප්‍රමාණයත් වැඩි කරන්න වෙලා තියෙනවා. හැබැයි ඒ හම්බ වෙන සල්ලි මගේ පුද්ගලික දේකට යොදවන්න හරි ඉතුරු කරන්න හරි වෙන්නේ නැහැ. ඒ සල්ලිවලින් බිල් ගෙවන්න, කම්පියුටරේ කැඩුනාම හදන්න තමයි දාන්න වෙන්නේ.”
ගෙදර ආර්ථිකයට බදු බර බලපාන හැටි
වැට් සංශෝධනයෙන් ආහාර සඳහා වැයබර තවත් තීව්‍ර වී ඇති අතර එය ආහාර රටාවට සෘජු බලපෑම් එල්ල කර ඇති බව පෙනෙන්නට තිබේ.
මෙම තත්ත්වය නිවසේ ආර්ථිකයට මරු පහරක් එල්ල කර ඇති බව පවසන එක් දරු මවක් වන ඉනෝකා පුද්ගලික ආයතනයක ලිපිකරුවකු වන සිය සැමියා උපයන මුදලින් මාසයක් ජීවත් වීමට අරගලයක නිරත වන්නට සිදුව ඇතැයි කියා සිටියාය.
“ලබන අවුරුද්දට ළමයගේ ඉස්කෝලේ පොත්පත් ටික ගන්නම රුපියල් 5000කට වැඩිය ගියා. ගේ හදන්න ගත්ත ණය කැපුනාට පස්සේ මහත්තයාගේ පඩියෙන් සොච්චමයි අතට එන්නේ. එකෙන් තමයි මෙච්චර දවස් හැමදේම කළේ ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ.” යැයි ඇය දිවි ගෙවන ආකාරය ගැන අවිනිශ්චිතව සඳහන් කළාය.
“ඉස්සරහට කඩේකින් කෑම ටිකක් කන්න, ගමනක් බිමනක් යන්න බැරි වෙනවා කියන එකනම් දැන් ඉඳන්ම තේරෙනවා. කන බොන එකත් සීමා කරන්න වෙනවා බතකුයි මාලුවකුයි හදාගෙන කාලා නොමැරි ඉන්න තමයි වෙන්නේ. ඉඳලා හිටලාවත් කටට රහට මුකුත් කන්න නම් බැරි වෙයි. බිල් ටික ගෙවලා කන්න බොන්න දෙයක් ගෙනාපුවාම සල්ලි සේරම ඉවරයි.”
ඉනෝකා පවසන පරිදි බදු වැඩි වීමෙන් නිවසේ ආර්ථිකයට සිදුවන බලපෑම දැනටමත් දැනෙන්ට පටන් ගෙන ඇති අතර කල් තියාම ඇය හැකි අයුරින් එයට සුදානම් වු අයුරු බීබීසී සිංහල සේවයට විස්තර කළාය.
“ගෑස් ටැංකි දෙකක් තිබුනා, මගේ අතේ එකතු කරගත්ත සල්ලි ටිකකුත් තිබුනා ඒවාත් දාලා ගෑස් දෙකක් ගත්තා. ඒ අරගෙන දවස් දෙකයි ගියේ ගෑස් ගණන් ගියා. දර ලිපක්වත් හදාගන්න ඕනේ ඉස්සරහට කෑම ටික හදාගන්න. ඉස්සර මාලුපිනී තුන හතරක් ඉව්වාට දැන් එකකින් දෙකකින් වේල පිරිමහගන්න තමයි වෙලා තියෙන්නේ.”
“ළමයා අසනීප වුනොත් බේත්වලටම දැනටත් ලොකු ගානක් යනවා. ඉස්පිරිතාලේ දොස්තරට පෙන්නුවත් ඕන බෙහෙත ඉස්පිරිතාලෙත් නැහැ. කොහොමත් බෙහෙත් ගන්න වෙන්නේ ෆාමසියෙන් ඉස්සරහට ලෙඩක් දුකක් හැඳුනත් බේතක් හේතක් කරගන්නවත් බැරි වෙයි.”

කොළඹ හැර දා ගමට යන්නට සිදුවීම
වසර තුනකට වැඩි කාලයක් තිස්සේ කොළඹට නුදුරු ප්‍රදේශයක රාත්‍රී වීදි ආහාර විකිණිමේ නිරත වාසනාට බදු බරින් දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබේ.
වෙළෙඳ සැලේ අලෙවිය අඩු වීමත්, කුලී නිවසෙහි කුලී මුදල වැඩි වීමත් හේතුවෙන් ඇයට කොළඹ ව්‍යාපාර කටයුතු නවතා දමා නැවතත් ගම රට බලා යන්නට සිදු වී ඇත.
“පසුගිය අවුරුද්දේ නත්තල් සතියේ මම ලාභය විතරක් ලක්ෂයක් හෙව්වා. මේ අවුරුද්දේ ඒකෙන් කාලක්වත් හොයන්න වුනේ නැහැ. බිස්නස් අඩු වෙලා මිනිස්සු කඩචෝරු කන එක නවත්තලම දාලා. ඉස්සරහට කොහාමත් බිස්නස් නැතිම වෙයි. “ඈ කඩා වැටෙමින් පවතින ව්‍යාපාරය ගැන පැවසීය.
“දැන් කොත්තුවක් ගත්තාම හත්, අට දෙනෙක් කනවා. ඒක අපිට පාඩුයි, බිස්නස් හොඳටම අඩු වෙලා. මිනිස්සු තුන් වේල කන්නෙත් බොහොම අමාරුවෙන් ඉතින් කොහොමද අමතර දෙයක් කන්නේ. බඩුවල ගාණත් දවසින් දවස වැඩි වෙනවා.”
“කුලී ගෙවාගෙන කොළඹට වෙලා ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. කුලියත් අනිවාර්යෙන්ම වැඩි කරනවා, බිස්නස් අඩු වෙන එක පේන්නම තියෙනවා. මම අවදානමක් අරගෙන මේක කරගෙන හිටියොත් අතේ තියෙන කීය හරිත් නැති වෙනවා. ජනවාරි මාසෙන් පස්සේ මම ගමට යනවා. ඒ ගිහින් මොනවා හරි පොඩි දෙයක් කරගෙන ඉන්නවා.” යැයි පැවසු වාසනා ගමට යාම හැර වෙනත් විකල්පයක් නැතැයි සඳහන් කළාය.












