ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශෂී වීරවංශට ඇප නියම කළේ ඇයි?
දෙවසරක සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (මැයි 31) ඇප මත මුදා හැරුණා.
ඒ දඬුවම් නියමව දින 04 කට පසුවයි.
ශෂී වීරවංශගේ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයදුමක් අද (මැයි 31) සලකා බැලීමෙන් අනතුරුව ඇය මෙලෙස ඇප මත මුදා හැරිණි.
ඇයට ඇප නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විත්තිකාරියගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.
ඒ අනුව රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකාරිය මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කර සිටියේය.
ඇප අයදුම සලකා බැලීම සඳහා බන්ධනාගාරය මගින් විත්තිකාර ශෂී වීරවංශ අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
විත්තිකාරියට පවතින නඩු හෝ පෙර වැරදි කිසිවක් නොමැති බවත් දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියායචනය විමසීම් සඳහා විශාල කාලයක් ගතවීම යන සුවිශේෂී කරුණු ලෙස සලකා විත්තිකාරිය ඇප මත මුදාහරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු අනුව විත්තිකාරියට පවතින නඩු හෝ පෙර වැරැදි නොමැති බව පෙනී යන හෙයින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා විත්තිකාරියට ඇප නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අසත්‍ය ලේඛන ඉදිරිපත් කර අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශට මැයි 27 වැනිදා බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවමක් නියම වුණි.
දඬුවම් නියම කිරීමෙන් අනතුරුව විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ. විත්තිකාරිය තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ පදනම මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 27 වන දිනම ඇප අයදුමක් ඉදිරිපත් කරනු ලැබුවාය.
එම ඇප අයදුම සළකා බැලීමෙන් අනතුරුව ඇය මුදා හැරිණි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මැයි 27 වැනිදා වසර 02 ක සිර දඬුවමක් නියම කළේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරමින්ය.
සිර දඬුවමට අමතරව ඇයට රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරිණ.
දඩය නොගෙවන්නේ නම් ඇයට තවත් මාස 6 ක සිර දඬුවමක් ද කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියම කරනු ලැබීය.
විත්තිකාරියට එරෙහි නඟා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව මහේස්ත්‍රාත්වරයා එදින තීන්දුව ප්‍රකාශකරමින් සඳහන් කළේය.
මෙම ක්‍රියාවලිය ට ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියොග කරනු ලැබීය.
ඇමති බිරිඳක් ලෙස නිල බලය පාවිච්චි කරමින් මෙම ගමන් බලපත්‍රය ලබාගැනීමට විත්තිකාරියකටයුතු කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී කියා සිටියේය.
එක් දින සේවාව යටතේ මෙම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර තිබුණද විත්තිකාරිය එම කවුළුව හෝ නොගොස් වක්‍ර මාර්ගයෙන් ගමන් බලපත්‍රය ලබා ගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට මෙම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ලබාදීම මැයි 13 වැනිදාට යෙදී තිබුනත් එය තුන්වන දිනටත් කල් තැබුණේ එම නඩුවේ තීන්දුව ලබාදීම මැයි 27 වැනිදා දක්වා කල්දමමිනි.
ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධව ආගමන හා විගාමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැ යි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබුණේ 2015 ජනවාරි 23 වැනිදා යි.
දේශපාලනඥයින්ට එරෙහි නඩුවලට මොකද වෙන්නේ?
මෙයට අමතරව මැයි 13 වැනිදා තීන්දු ලබාදීමට නියමිතව තිබූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව පවරන ලද නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද, නැති ද යන්න තීන්දුව ලබාදීම ජූනි මස 3 වැනිදාට කල් තැබුණි.
නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම සඳහා ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර හමුවේ මැයි 13 වැනිදා නඩුව කැඳවනු ලැබිණ.
පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ රටේ පවතින අයහපත් වාතාවරණය මත මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණි.
දෙවන විත්තිකාර තිරුකුමාර් නඩේසන් මහාධිකරණයට ඉදිරිපත්වීම සඳහා විදෙස්ගතව සිට පැමිණ ඇති බවත්, ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එදින අධිකරණයට දැනුම් දී තිබේ.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමුකර ඇති මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නඩුවේ තීන්දුව ලබා දීම ජූනි මස තෙවැනි දා දක්වා කල් තබා ඇත.
ඒ අනුව, එදිනට විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයේම නීතිඥයින් මහාධිකරණය හමුවේ එකඟතාව පළ කර තිබේ.