ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"බැසිල්ගේ වැරද්දක් නැහැ" - ආණ්ඩුවේ මැති ඇමතිවරු කියති
මේ දිනවල ඉන්ධන, ගෑස්, කිරිපිටි සඳහා තැන තැන දිගු පෝලිම් දක්නට ලැබීම සුලබ තත්ත්වයකි. එය මේ වන විට ජනතාවගේ දින චර්යාවේම කොටසක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් ජනතාව ආණ්ඩුවට එරෙහිව දක්වන විරෝධය හා විවේචනද දිනෙන් දින උත්සන්න වෙමින් පවතියි.
කෙසේ වෙතත්, මේ අර්බුදය කිසිසේත්ම තමා විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා අවධාරණය කළේ ය.
"ජනතාවගේ අඳෝනාවල වගකීම බැසිල් රාජපක්ෂ භාරගත යුතු යි"
අමාත්‍යධුරයෙන් නෙරපන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කරන්නේ පෝලිම්වල දුක් විඳින ජනතාවගේ අඳෝනාවල වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ භාරගත යුතු බව යි.
"2020 ඔක්තෝබර් මාසේ 20 වැනි දා ඉදන් ආණ්ඩුවට කිව්වා ආකාරයෙන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කරා නම්, අද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා පැය ගණන්, දවස් ගණන් මේ රටේ ජනතාවට පෝලිම්වල දුක්විඳින්න වෙන්නේ නැහැ," ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ ය.
"පිළිකා රෝගයට, හෘද රෝගයට බෙහෙත් නොමැති නිසා මේ රටේ කවුරුහරි මියයනවා නම් එහි වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාරගත යුතු යි. පෝලිම්වල දුක් විඳින ජනතාවගේ අඳෝනාවල වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ භාරගත යුතු යි," ඔහු චෝදනා කළේ ය.
"බහුතර ජනතාව අද ඩීසල් පෝලිම්වල, බෙහෙත් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක් විඳිනවා. එහෙම ජනතාවට දුක් විඳින්න වුණේ මුදල් ඇමතිවරයාගේ වරදින් බව අපි ඉතා සහේතුකව චෝදනා කරනවා," මන්ත්‍රී ගම්මන්පිල ප්‍රකාශ කරයි.
එහෙත් කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසා සිටින්නේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති නොවුණා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබූ බවකි.
පිරවුම්හල්හි පෝලිම් සෑදෙන්නේ හිටපු බලශක්ති අමාත්‍යවරයා පැවසූ දෙයක් නිසාවෙන් බව අමාත්‍ය චන්ද්‍රසේන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ ය.
"අද අපි දන්නවා ගෑස් මිල, තෙල් මිල වැඩිවෙලා. තෙල් හිඟයක් තිබෙනවා. මෙය අපිට විතරක් උරුමවෙච්ච දෙයක් නොවේ. නමුත් මෙය ආණ්ඩුවේ දුර්වලකමක් ලෙස යි පෙන්නන්නේ," ඔහු ප්‍රකාශ කළේ ය.
"මේ පිරවුම්හල්වල පෝලිම් ගැසී තිබෙන්නේ හිටපු බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් එක්ක තමයි. මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇතුළේ තිබෙනවා," ඔහු පැවසුවේ ය.
බැසිල් මුදල් ඇමති නොවුණා නම් මේ ප්‍රශ්නය මීට වඩා වෙනස්....
"මම පැහැදිලිව කියන්න ඕනේ, මේ ආණ්ඩුව හදන්න 80%කට වැඩි දායකත්වයක් ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. අද සමහර අයට බැසිල් කිව්වාම හරි ඇලජික් එකක් වෙලා තියෙනවා. මන් දන්නෙ නැහැ ඒ මොකද කියලා. දක්ෂයෙක් වැඩ කරනකොට ගොඩක් දෙනෙක් තරහ යි. අපි දන්නවා ඵල තියෙන ගහට තමයි පොලු ගහන්නේ. කණාටු ගස්වලට ගහන්නේ නැහැ. බැසිල් ඇමතිතුමා මුදල් ඇමති නොවුණා නම් මේ ප්‍රශ්නය මීට වඩා බොහොම වෙනස්," චන්ද්‍රසේන අමාත්‍යවරයා සඳහන් කළේ ය.
"අපි මීට මාස හතර පහකට කලින් IMF එකට යන්න හැදුවා. එදා අපේම ආණ්ඩුවේම හිටපු කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් විරුද්ධ වුණා. නමුත් අද හුඟාක් පිරිස IMF ගියේ නැති වැරැද්ද බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පිට පටවන්න හදනවා. ඩොලර් හිඟය ද මුදල් ඇමතිතුමා පිට පටවන්න හදනවා. එතුමා මේවට වගකිය යුතු නැහැ. එතුමාව එලවගන්න හුඟක් දෙනෙක්ට වුවමනාවක් තිබෙනවා."
"මේ රටේ ප්‍රශ්න ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ වැරැද්දක් නිසා වෙච්ච දෙයක් නොවේ. පහුගිය ආණ්ඩු කාලයේ වෙච්ච දුර්වල සහ මේ ලෝක වසංගතය, යුක්රේන යුද්ධය නිසා පත්වෙච්ච දේවල්. මේවා තේරුම් ගත්ත අපේ එකසිය පනස් ගාණක් ඉන්න මන්ත්‍රිවරුන්ගෙන් අපිට විශාල පිරිසක් තේරුම් අරගෙන, ආණ්ඩුව ආරක්ෂා කරමින්, ආණ්ඩුවේ වැඩපිළිවෙළට උදව් කරන්න ලැස්තිවෙලා ඉන්නවා. නමුත් සමහර අවස්ථාවාදී පිරිස් ද ඉන්නවා. හුඟාක් පිරිස් හිතාගෙන ඉන්නවා ආණ්ඩුව කඩා වැටෙයි කියලා. ආණ්ඩුව එහෙම වැටෙන්නේ නෑ," ඇමති චන්ද්‍රසේන සහතික කළේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ද ප්‍රකාශ කර සිටින්නේ අර්බුදය නිර්මාණය වන අවස්ථාව වන විට පැවති රජය තමන්ගේ වන නමුත්, මේ අර්බුදයට හේතුව වර්තමාන ආණ්ඩුව බවට සඳහන් වන දේශපාලන අදහස වැරදි බව යි.
මෙම අර්බුදකාරි තත්ත්වයන් නිර්මාණයවීමට හේතු සාධක වනුයේ ගෝලීය වශයෙන් මුහුණදෙන මේ කොවිඩ් වසංගත තත්ත්වය බව ද ඔහු සඳහන් කළේ ය.
"මේ ආර්ථික අර්බුදය මේ ආණ්ඩුවේ වැරදි දේශපාලන තීන්දු මත සිදුවුණා කියන කාරණාව දේශපාලනික වශයෙන් වැරදි අදහසක්," බව මන්ත්‍රීවරයා පැවසීය.
"මේ අවස්ථාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් බරපතල විවේචනයක් සිදුකර තිබෙනවා. 2015 අපි පරාජයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනය වටා මහජන බලවේගයක් නිර්මාණය වුණා. මේ බලවේගය සමග, අපි සමග හිටපු සහෝදර පක්ෂ නායකයින් ජවය සැපයීම සම්බන්ධයෙන් එක්තරා මොහොතක යම් තීරණාත්මක කාර්යයභාරයක් සිදු කළා. නමුත් ඒ කණ්ඩායම් උත්සහ කළා තීරණාත්මක අවස්ථාවක දී රජපක්ෂ බල කඳවුර එවක යහපාලන ආණ්ඩුව සමග ගිහින් ගැටගහන්න. මේ උත්සහයට බරපතල ලෙස විරුද්ධ වුණේ බැසිල් රාපක්ෂ මැතිතුමා යි. එය යි මෙහි වෛරයේ හේතුව."
"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා ගොනුවෙච්ච මේ සමාජ බලවේගය ඇසුරෙන් අලුත් දේශපාලන පක්ෂයක් බිහි කරනවාට ඔවුන් විරුද්ධ වුණා.මේ අද කතා කරන ඇතමුන්ට බැසිල් මහතා සමග තිබෙන වෛරයේ හේතුව තමයි, රාජපක්ෂ දේශපාලන බලවේගය යහපාලන ආණ්ඩුවට සමග එකතු කිරීමට විරුද්ධවීම මත ඇති වෙච්ච විරසකය තමයි අද වෙන වෙන ආකාරයෙන් එළියට ඇවිත් තිබෙන්නේ," මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
"බැසිල් රාජපක්ෂගේ කක්ෂය වටේ තමා මුළු රජයම කරකැවෙන්නේ"
අමෙරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ මන්ත්‍රී අසුනක් දීමට හා අමාත්‍යධුරයක් ලබා දීමට තමන් එකඟ නොවූබව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර අවධාරණය කළේ ය.
"අපි කිසිසෙත් එකඟවුණේ නැහැ විදේශීය පුරවැසිභාවය තියෙන කිසිවෙකුට මේ රටේ පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්නවත්, අමාත්‍යධුරයක් දැරීමට ඉඩ දෙන්නවත්," අමාත්‍ය නානායක්කාර පවසා සිටියේය.
"අන්තිම මොහොතෙත් අපි කිව්වා 20 වැනි සංශෝධනයට අපි ඡන්දය දෙන්නෙ නැහැ කියලා. එතකොට ජනාධිපතිතුමා කිව්වා මේ 20 වැනි සංශෝධනයෙන් කරන්න හදන්නේ එදා මට කරපු එක ආපිට කරකවන්න යි, ඒකට පමණයි කියලා."
"කැබිනට් රැස්වීමක දී මම ඇහුවා මේ බැසිල් ගේන්න ද මේ කරන්නේ, එහෙම නම් කෙලින් කතා කරන්න කියලා මම කිව්වා. ජනපති කිව්වා නැහැ නැහැ, මේ බැසිල් ගැනීමවත්, පුද්ගලයෙක් සම්බන්ධවත් නෙමෙයි, මේක හුදෙක්ම ප්‍රතිපත්ති කාරණා ඉටු කිරීමක් වශයෙන් කියලා. ඔහෝම ටිකක් කල් යනකොට කතන්දරය කියනවා නම් බැසිල් මහත්තයාව පාර්ලිමේන්තුවට ගෙනෙන්නට යෙදුණා. ඉන්පසු මුදල් ඇමතිධුරයට ගෙනෙන්න යෙදුණා," අමාත්‍ය නානායක්කාර ප්‍රකාශ කළේ ය.
අමාත්‍ය නානායක්කාර චෝදනාකර සිටියේ බැසිල් රාජපක්ෂ අමෙරිකානු න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බවට යි.
"දැන් මේ ගැටුම නැවත මතුවන්නේ, එතුමාට අමෙරිකාවත්, අමෙරිකාවේ උවමනාවත් ඉන්දීයන් සාගරය තුළ ක්‍රියාත්මක වෙන ආකාරයට, ලාංකීය භූමිය ඒ සඳහා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ සැලසීමේ න්‍යාය පත්‍රයක් තිබෙන බව වැඩිකල් නොගොස් අපි මේ ගෙස් කළා නොවේ, අපිට තේරුම් ගියා. ඊට හේතුවුණේ එතුමා දිගටම තමන්ගේ අමෙරිකානු පුරවැසිභාවය තබාගැනීමේ උවමනාව තදබල ලෙස කියා සිටියා. ඒකෙන් හැඟී යන්නේ එතුමා අමෙරිකාවේ පුරවැසිභාවය වෙනුවෙන් දුන්නා වු දිවුරුම එතුමාට ප්‍රධාන යි කියන එක යි."
"බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන පුද්ගලයාගේ කක්ෂය වටේ තමා මුළු රජයම කරකැවෙන්නේ. අද බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ තියෙන්නේ, මුළු රජය ගැනම ප්‍රශ්නයක්," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ පවසා සිටියේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ කටයුතු කරන්නේ, අමෙරිකානු අභිලාෂයන් වෙනුවෙන් නොව ලාංකීය අභිලාෂයන් වෙනුවෙන් බව යි.
"පසුගියදා අමාත්‍යධුරවලින් ඉවත් කරපු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් පහුගිය දින කිහිපය ඇතුළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කරගෙන චෝදනා එල්ල කරනවා. මෙය කිසිම පදනමක් නැති චෝදනාවක්. එයට අපිට සාධක තිබෙනවා," මහින්ද පතිරණ ප්‍රකාශ කළේ ය.
"බැසිල් රාජපක්ෂ මේ රාජපක්ෂ ආණ්ඩුව පැමිණි දවසේ ඉඳලම අමෙරිකානු අභිලාෂ වෙනුවෙන් නොවේ පෙනි සිටියේ. ලාංකීය අභිලාෂ වෙනුවෙන් පෙනි සිටියේ. යුද්ධ කාලයේ මහින්ද රාජපක්ෂ දේශපාලන නායකත්වය සපයන කොට මේ යුද්ධයට අවශ්‍යය ආර්ථික ශක්තිය සපයා දුන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුම යි. හමුදාවට අවශ්‍ය කෑමබීම, උතුරට අවශ්‍ය භාණ්ඩ සැපයීම, දකුණේ යුද්ධය නිසා ඇතිවුණු අසහනයන් සමනය කිරීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ ආරම්භ කරලා සමාජීය වශයෙන් මේ රට ස්ථාවර කරා. එහෙම කැපකිරීමක් කරලා අදත් ඒ කැපකිරීම බැසිල් රාජපක්ෂ මැතිතුමා ලාංකීය අභිලාෂ වෙනුවෙන් කර සිටිනවා. ඔහු කිසිම අවස්ථාවකවත් තමන්ගේ රටේ අභිලාෂ අභිබවා වෙනත් කිසිම රටක අභිලාෂ වෙනුවෙන් පෙනී සිට නැති බව පේනවා," ඔහු පැවසුවේ ය.
"උදය ගම්මන්පිල මහතා කියනවා අද වන විට තෙල් අර්බුදය ඇති වුණේ ඩොලර් ප්‍රශ්නයක් නිසා කියලා. අපි දන්නවා ලංකාවේ ඩොලර් ප්‍රශ්නයක් තිබෙනවා, ඒක ආසන්නතම හේතුව කියලා. 2021 ඔක්තෝම්බර් 20 ගිවිසුමක් අත්සන් කරන්න යනවා ඩොලර් බිලියන 3.6ක ණය පහසුකමක් යටතේ ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා. අතිවිශාල මුදලක් ඕමානයෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා ලැබෙනවා කියලා උදය ගම්මන්පිල එදා ප්‍රකාශ කරනවා. හැබැයි මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තා, නමුත් මේ ගිවිසුමට අත්සන් කිරීම මඟහැරියා."
"මේ ගම්මන්පිළ ඇමතිවරයා හිතාමතාම මේ රට නොමඟ යවපු අවස්ථාවක්. ඔහුට අවශ්‍ය වුණේ මේ රටේ අර්බුද නිර්මාණය කරන්න යි. අපිට කාලයත් එක්ක ඩොලර් හිඟ වෙනවා සේම ඉන්ධන මිලත් ඉහළ යනවා. එයින් වැඩිපුර ඩොලර් අපිට පිටරටට යවන්න සිදු වෙනවා. ඒ වගේම ඇමතිවරයා මාධ්‍යයට පැමිණ ප්‍රකාශ කරනවා තෙල් තිබෙන්නේ තවත් සුළු කාලයකට යි කියලා," මහින්ද පතිරණ චෝදනාවක් ඉදිරිපත් කළේ ය.
"ජනතාව අතර ප්‍රශ්න මතු කරලා අන්තිමට මේ අර්බුදයට පාර කපලා, දේශපාලන පක්ෂ කිහිපයක් එකතුවෙලා හරි මඟ කියලා දේශපාලන සම්මන්ත්‍රණයක් කරනවා. අර්බුදය උඩුදුවන්න ඇරලා එයින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මේ ගිය වැඩපිළිවෙළ තමයි අපට කියන්න සිදුවෙලා තිබෙන්නේ. මේක තමයි ඔහුගේ අරමුණ. ඒ දේශපාලන අරමුණ වෙනුවෙන් ඔවුන් රටේ අභිලාශයන් පාවා දුන්න කියන එකයි තමයි අපිට මෙයින් තහවුරු වෙන්නේ."
"එහෙම දෙයක් කරපු පිරිස් තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාට අද චෝදනා කරන්නේ අමෙරිකානු ගැත්තෙක් කියලා. බැසිල් රාජපක්ෂ ආර්ථික ඝාතකයෙක් කියලා. මෙතන තිබෙන්නේ කිසියම් රටකට ගැතිවීම හෝ විරුද්ධවීමේ ප්‍රශ්නයක් නොවේ. මොවුන්ගේ තිබෙන දේශපාලන විරසකය සහ වෛරයයි ඉස්මතු වෙලා තිබෙන්නේ," මහින්ද පතිරණ වැඩිදුරටත් පැවසීය.
අර්බුදය තමා විසින් නිර්මාණය කළ එකක් නොවනබව ජනපති කියයි
මේ අර්බුදය කිසිසේත්ම තමා විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මාර්තු 16 වැනිදා රාත්‍රියේ ජාතිය අමතමින් අවධාරණය කළේ ය.
ඔහු කියා එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, තමා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබාදීමට බව යි.