ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විමල් වීරවංශ 'ආහාර වර්ජනයක'
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, අද උදෑසන සිට සිය සිරමැදිරිය තුළ ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
දේශපාලන පළිගැනීමක් ලෙසින් මාස දෙකකට අධික කාලයක් තමන්ට ඇප ලබා නොදී රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළකිරීම සඳහා සිය පක්ෂයේ නායකයා මේ ආහාර වර්ජනය ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අද දහවල් වැලිකඩ බන්ධනාගාරයට ගොස් වීරවංශ මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසූහ.
ආණ්ඩුවේ ප්‍රතිචාරය
ආහාර වර්ජනය සිය පක්ෂ නායකයාගේ පුද්ගලික තීරණයක් බව පැවසූ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා, ඔහු අද දින පාර්ලිමේන්තු සැසියට සහභාගි නොවූ බවත් සඳහන් කළේය.
මේ පිළිබඳව අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා රජයට මැදිහත් විය නොහැකි බව සඳහන් කළේය.
ඇප ලබාදීම හෝ නොදීම අධිකරණයේ තීරණයක් බව පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, විමල් විරවංශ මන්ත්‍රීවරයා දක්ෂ නීතිවේදීන් ඉදිරිපත් කර ඇප ලබාගැනීමට උත්සාහ කළ යුතු බවත් පැවසීය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා දේශපාලන සිරකරුවකු නොව මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධ අපරාධයක සැකකරුවෙක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.