ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වීරවංශගේ ඇප ඉල්ලීම ඉවතට
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ලබාදීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළේය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.
කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි පැවසීය.
"විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට සුවිශේෂ කරුණු රැසක් තිබෙනවා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. පරීක්ෂණ කටයුතු අවසන් වී තිබෙනවා. ඒවා සුවිශේෂ කරුණු ලෙසයි අපි සලකන්නේ " යනුවෙන් කී ඔහු වත්මන් රජය වෛරය පතුරවාලීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට චෝදනා කළේය.
රජයේ වාහන
රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා නියෝග කර තිබිණි.
එහෙත් තමන්ට එරෙහි පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඇප ලබාදෙන්නැයි ඉල්ලා විමල් වීරවංශ මන්ත්‍රීවරයා මහාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළේය.
ඔහුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බව මහාධිකරණය විනිසුරුවරයා කියා සිටියේ එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.