මෙවර සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සෞභාග්‍යයෙන් සැමරිය හැකිද?

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් පැය48කට අඩු කාලයකි. වෙනදාට අටුකොටු පුරවාගෙන ජයටම අවුරුදු කන්න සූදනම්වුණ බොහෝ දෙනෙක් මෙවර අලුත් අවුරුද්දට ලැහැස්ති වන්නේ කෙසේද?

මෙවර ජනතාවට අවුරුද්දට සූදනම් වීමට සිදුව ඇත්තේ ඉන්ධන හිඟය හා අහස උසට යන බඩුමිල ගැන හූල්ලමිනි. මේ විමසා බැලීම ඒ පිළිබදවයි.

බඩුමිල අහස උසට

ඉහළ යන භාණ්ඩ මිල හමුවේ වෙළෙපොලේ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් සෑම කෙනෙකුගේම පාහේ මුහුණේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ඒ හෙට දවස කෙසේ වේවිදැයි යන අවිනිෂ්චිත තත්ත්වය හේතුවෙනි.

මෙවර ජනතාවට අලුත් අවුරුද්ද සැමරීමට සිදුව ඇත්තේ ඉන්ධන පොලීම්, ගෑස් පොලීම්වල කල්මරමින්ය.

ඒ, ඉන්ධන ප්‍රශ්නයට හා ගෑස් හිගයට විසඳුමක් දීමට බලධාරීන් තවමත් අපොහොසත් ව ඇති පසුබිම තුළයි.

අප්‍රේල් 11 වැනිදා රාත්‍රිය වන විටත් කොළඹ හා තදාසන්න ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලීම් දක්නට ලැබුණු අතර ඇතැම් පිරිවුම් හල් ඉන්ධන නොමැතිව වසා දමා ඇති අයුරු දක්නට ලැබිණ.

අලුත් අවුරුද්දට කෑම පිසීම සඳහා ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීමට පිරිසක් සටනක නිරත වන අතර තවත් පිරිසකට ලිපදැල්වීමට භූමිතෙල් මිල දී ගැනීම සඳහා ද දිගු පොලීම්වල කල්ගෙවීමට සිදුව ඇත.

උත්සවය සමයේ කොළඹ කොටුව, මහරගම - පමුණුව, නුගේගොඩ ආදී ප්‍රදේශ පාරිභෝගික ජනතාවගෙන් පිරී ඉතිරී යෑම සාමාන්‍ය සම්ප්‍රදායයි.

ගම්බිම් බලා යන ජනතාව හේතුවෙන් කොළඹ කොටුවට සැලකිය යුතු ජනකායක් පැමිණියත් බඩුබාහිර ආදිය මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල්වල විශාල සෙනඟක් නොමැතිවීම කැපීපෙණෙන දසුනක් විය.

මහරගම පමුණුවේද මෙවර රෙදිපිලි මිලදී ගැනීමට පැමිණෙන පිරිස අඩුවී ඇතැයි වෙළෙදෝ පෙන්වා දෙති.

පොහොර අර්බුදය හේතුවෙන් මෙවර මහ කන්නයේ ගොවීන්ටද සාර්ථක අස්වැන්නක් ලැබී නොමැත. ඔවුන් පවසන්නේ පෙරවසරවලට සාපේක්ෂව ලද අස්වැන්න 50%කින් පමණ අඩුවී ඇති බවයි. සෙසු කෘෂි වියදම් ද ඉහළ යෑම හේතුවෙන් වී ගොවිතැණෙන් ලද ආදයම පහළ ගොස් ඇති බව ගොවීහු පෙන්වා දෙති.

රෙදිපිළි ගිනි ගණන්

පාරිභෝගිකයින් පවසන්නේ පෙර වසරවලට සාපේක්ෂව ඇඳුම් පැලඳුම් මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.

"ජනතාවට මුදල් නැහැ. ජනතාව බොහොම දුකින් ජීවත් වෙන්නේ. කන්න නැති කාලයක් මනුස්සයින්ට තියෙන්නේ." නම හෙලිදරව් නොකළ පාරිභෝගිකයයෙකු බීබීසී සිංහල සේවය සමග පවසා සිටියේය.

තවත් අයෙකු කියා සිටියේ "මිනිස්සු මේ සැරේ මම හිතන්නේ ඇඳුම් ගන්නේ නැහැ."

පමුණුවේ වෙළෙන්දෙකු වන සුනිල් වීරසිංහ පවසා සිටියේ "මෙලෝ රහක් නැහැ ඉතින් කියන්න දෙයක් නැහැ. ඉන්නං වාලේ ඉන්නවා. කරන්නම් වාලේ කරනවා ඉතින් බිස්නස්."

තවත් ව්‍යාපාරිකයෙකු කියා සිටියේ "දැන් සැප තමයි. තුන් ගුණයකින් විතර බඩුමිල වැඩියි, ඉතින් කොහොමද බිස්නස් කරන්නේ?"

රෙදිපිළි පමණක් නොව මෙවර සිංහළ දෙමළ අලුත් අවුරුදු සමයේ එළවලු, පළතුරු ඇතුලු ආහාර ද්‍රව්‍ය මිල ගණන්ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

දඹුල්ල ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු සඳහන් කළේ "බඩු අරගන්න ආවේ. මිනිස්සුන්ට අධික මිල දරා ගන්න බැහැ. ගණන් ඒතරම් ඉහළ ගිහින් තියෙන්නේ. බලන්න අද පරිප්පු කිලෝ එකක් කියද කියලා. අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ."

"ඇත්තටම දුකයි මේ සැරේ සිංහල අවුරුද්දක් කියලා එකක් නැහැ. ළමයෙකුට ඇඳුමක්වත් අරන් දෙන්න වෙන්නේ නැහැ. මේ සැරේ අවුරුද්දට ගෙදරට මනුස්සයෙක් ආවත් කිරි තේ එකක් දෙන්න බැරි තත්ත්වයකට අද අපි පත්වෙලා තියෙන්නේ," කුරුණෑගල ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු වන සමන් පෙරේරා පැවසීය.

"චුටි ළමයෙකුට මේ අවුරුදු කියලා ආසාවෙන් බලා ඉන්න ළමයෙකුට ඇඳුමක්වත් අරන් දෙන්න විදිහක් නැති නිසා තමයි නගරයට මිනිස්සු ඇවිල්ල නැත්තේ" යනුවෙන් තවත් පාරිභෝගකයෙකු හැඟුම්බරව කියා සිටියේය.

හෙට දවස හරිම අවිනිශ්චිතයි

බීබීසී සිංහල මුහුණුපොතේ සටහනක් තබමින් ජයන්ත අත්තනායක පැවසුවේ: "ඇත්තම කතාව ඒක. අවුරුද්දක් නෑ ඒත් තාම ගෙදර අයට මේක තේරෙන්නෙ නෑ. ඒ මොකුත් නිසා නෙවෙයි. එහෙම තේරෙන්න ඉඩ දෙන්න හිතෙන්නෙ නෑ."

"මම ඩිලිවරි සේවාවක සේවය කරන කෙනෙක්. ඊයේ පෙරේදා වැස්ස. අපේ කොල්ලො ගොඩාක් වැස්ස වෙලාවට පැත්තකට වෙනව තෙමෙන්න බැරි නිසා. අපිට එහෙම බෑනේ. අපි දරුපවුල් කාරයො ඉතින් වැස්සෙ තෙමිතෙමී ඩිලිවරි ගෙනිච්චා. ඒ ගෙදර අයට නැතිබැරිකම නොදැනෙන්න තියන්න ඕන හන්දා. අද කකුලෙ ඇඟිලි රිදෙන්න ගත්තු නිසා. නෝනට කිව්ව බලන්න කියලා. ඇඟිලි අතර පැලිල ලේ එනව එක දිගට වැස්සෙ තෙමුනු නිසා වෙන්න ඇති. අපි පොඩි කාලෙ අපේ අම්ම කිව්වෙ ඒකට කකුල දියමැටියො කාල කියලා. (වෛද්‍ය විද්‍යාවට අනුව වෙන අදහසක් ඇති)."

"ඒක නෙවෙයි කතාව අවුරුද්දක් නෑ තමයි. ගෙදර අයට ඇඳුම් අරගන්න කිව්වට මම ගත්තෙ නෑ. ගෙදර අය කියන්නෙ අලුත් අවුරුද්දක් ලබනකොට අලුත් ඇඳුමක් අඳින්න ඕනලු. ඉතින් ඒ ගොල්ලොන්ගෙ අදහසත් බැහැර කරන්න බැහැනේ. ඊයේ ගියා ඇඳුමක් ගන්න. මගේ හිත කිව්වෙ ඇඳුමක් එපාම කියලා මොකද වියදමට තවත් සල්ලි ඕන නිසා. ඒත් ඉතින් අළුත් ඇඳුමක් ඕන නේ. අඩු ගානකට මොකක් හරි එකක් ගනින් කියල හිත කියනවා. කිව්වත් වගේ ඕං එකක් ගත්තා අඩුම ගානට නමගිය රෙදි කඩේකිනුත් නෙවෙයි. බ්‍රෑන්ඩඩ් ඇඳුමකුත් නෙවෙයි. අද දවසෙ මෙහෙම හරි කරනව ඒත් හෙට දවස ... හරිම අවිනිශ්චිතයි නේද ?"

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු තම ට්විටට් හිණුමේ සටහනක් තබමින් පැවසුවේ "වෙනදා පරණ අවුරුද්දට ගෙවල් අස්පස් කරලා නා ගන්න අපි දැන් උදේම පෙට්‍රෝල් පෝලිමේ. පේනවා නේද මේකේ දිග"

සතොසෙන් සහන මල්ලක්

මෙවර අලුත් අවුරුදු සමයේ සතොස මගින් සහන මිලට භාණ්ඩ මල්ලක් ලබා දෙන බවට පවසා තිබුණත් ඒවයේ භාණ්ඩ හිඟ බවට පාරිභෝගිකයෝ පවසා සිටිති.

"මිනිස්සු අනාථයි. දැන් මේබඩු ගන්න ආවා. සතොසේ බඩු තියෙනවා කිව්වට හාලුත් නැහැ. සීනිත් නැහැ. පරිප්පුත් නැහැ." පාරිභෝගිකයෙකු කියා සිටියේය.

මෙවර සිංහල අවුරුදු නැකැත් සීට්ටුව

  • පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වෙනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම ඉතාමත් මැනවි.

  • අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

  • පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා (එළිවන පාන්දර පූර්ව භාග 02.17 තත්පර 17 සිට එදින අපර භාග 03.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 02.17 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17 සිට අපර භාග 03.05 තත්පර 17 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ක්‍රම ඉටු කිරීම ද ඉතාමත් මැනවි.

  • ආහාර පිසීම

අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා. දීකිරි මිශ්‍ර කිරිබතක් හා උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම ඉතාමත් මැනවි.

  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.17ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම ඉතාමත් මැනවි.

  • හිසතෙල් ගෑම

අප්‍රේල් මස 17 වෙනි ඉරිදා දින උදේ 07.04ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් මැනවි.

  • රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 18 වන සඳුදා උදේ 06.51 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම ඉතාමත් මැනවි.