මාධ්‍යවේදී මෛල්වාගනම් නිමලරාජන් ඝාතනය: වසර 22කට පසු යුක්තිය ඉෂ්ටවෙයි ද?

நிமலராஜன்
ඡායාරූප ශීර්ෂ වැකිය, නිමලරාජන් යාපනයේ සිට ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුනේ තර්ජන රැසක් මධ්‍යයේ ය

"අපේ ගෙදර තිබුණේ අධි ආරක්‍ෂිත කලාපය ඇතුළේ. ඇඳිරි නීතියත් තිබුණා. හමුදා කඳවුරුත් තිබුණා. ඒ නිසා රජයේ උදව් නැතුව කාටවත් ඒක කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ," මීට වසර 22කට පෙර ඝාතනයට ලක් වූ මෛල්වාගනම් නිමලරාජන්ගේ සහෝදරිය පවසයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූ යාපනයේ සිට ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙමින් සිටි නිමලරාජන්, 2000 ඔක්තෝම්බර් 19 වන දින ඔහුගේ නිවසේ දී ඝාතනයට ලක්විය.

එය සිවිල් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා දැඩි නොසන්සුන් බවක් ඇති වී තිබූ කාලයකි. නිමලරාජන් ජීවිත තර්ජනවලට නොබියව මුහුණ දෙමින්, සිවිල් යුද්ධය සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳව BBCය සහ තවත් මාධ්‍ය ආයතන කිහිපයකට ප්‍රවෘත්ති වාර්තා කරමින් සිටියේ ය.

පසුගිය පෙබරවාරි 24 වැනිදා ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් යුද අපරාධ අංශය නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් 48 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේ ය. නිමලරාජන් ඝාතන සිද්ධිය යළිත් වරක් මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නේ මේ අත්අඩංගුවට ගැනීමත් සමග ය. නමුත් මෙම අත්අඩංගුවට ගැනීම ඝාතනයට සාධාරණයක් ඉටුකරයි ද? නිමලරාජන්ගේ පවුල සහ යාපනයේ මාධ්‍යවේදීන් නගන ප්‍රශ්නය එය යි.

වීඩියෝ ශීර්ෂ වැකිය, වසර 22කට පෙර ඝාතනය කළ මාධ්‍යවේදියාට සාධාරණයක් ඉටුවේද ?

තර්ජනවලින් අඩුවක් නොවූ රැකියාවක්

එකල නිමලරාජන්ට දිනපතා පාහේ තර්ජන එල්ලවීය. නමුත් පුවත්පත් කලාවට ඇති උනන්දුව දිගටම සිය රැකියාවේ නිරතවීමට නිමලරාජන් පෙළඹවූ බව ඔහුගේ සොහොයුරිය නිමලරාණී BBC දෙමළ සේවයට පවසන්නී ය.

"නිමලරාජන් රස්සාව කළේ දැඩි දුෂ්කරතා මැද. ඒ කාලේ අපට කරන්ට් එක තිබුණේ නැහැ. එයා බයිසිකලෙන් ගිහිල්ලා තොරතුරු රැස්කරන්න පුරුදුවෙලා හිටියා. එයාට ගොඩක් අනතුරු, සහ දේශපාලන තර්ජන තිබුණා," නිමලරාණී පවසන්නී ය.

අඳුරේ සිදුවූ ඝාතනයක්

එම දෛවෝපගත දිනයේ දී, නිමලරාජන් ප්‍රවෘත්තියක් ලියමින් සිටිනාතර ඔහුගේ නිවසට ඇතුළුවූ නාඳුනන පුද්ගලයෝ දෙදෙනෙක් ඔහුට වෙඩි පහර පහක් එල්ලකොට ඔහු ඝාතනය කළහ. ඝාතකයෝ ඔහුගේ පියාට ද පිහි පහරක් එල්ලකොට, අත්බෝම්බ ප්‍රහාරයකින් නිමලරාජන්ගේ මවට සහ බෑණාට ද බරපතල තුවාල සිදුකළහ.

නිමලරාජන්, ශ්‍රී ලංකා මහ මැතිවරණයේ දී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව වාර්තාවක් සකස්කර තිබුණි. ඔහු එම වාර්තා හරහා EPDPයට (ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) මැතිවරණ වංචා සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ලකර තිබුණි.

නිමලරාජන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එදාමෙදාතුර යම් යම් අත්අඩංගුවටගැනීම් සිදුවූ නමුත්, මේ දක්වා කිසිවෙකුත් වරදකරුවන් බවට ඔප්පු වී නැත.

සමාජ ක්‍රියාකාරීන් මෙම ඝාතනය සම්බන්ධයෙන් EPDP සාමාජිකයින්ට චෝදනාකර තිබේ. EPDP පක්ෂයේ නායකයා වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කරන ඩග්ලස් දේවානන්දා ය.

BBC දෙමළ සේවය මේ සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්දා සම්බන්ධකර ගත්විට ඔහු ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

"නිමලරාජන් ඝාතනයට මගේ හෝ මගේ පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැහැ. බොරුවක් දිගින් දිගටම කියනකොට ඒක සත්‍යයක් වගේ පේනවා. මිනිස්සු මට චෝදනා කරන්නේ මේ පදනම මත විතරයි."

தனது கட்சியின் மீதான குற்றச்சாட்டுகளை தொடர்ந்து மறுத்து வருகிறார் டக்ளஸ் தேவானந்தா
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩග්ලස් දේවානන්දා තම පක්ෂයට එල්ලවන චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි

ප්‍රමාණවත් පියවර ගෙන නැහැ

මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් නොගැනීම හේතුකොට ගෙන ක්‍රියාකාරීහු සහ මාධ්‍යවේදීහු ශ්‍රී ලංකා රජය පිළිබඳ සිය කළකිරීම ප්‍රකාශ කරති.

"වැරදිකාරයා කවුද කියල හැමෝම දන්නවා. මේ ඝාතනයට සම්බන්ධ කවුද කියලා දෙමළ ජනතාව දන්නවා. ඒත් තවමත් කිසි කෙනෙකුට දඬුවම් ලැබිලා නැහැ. ඒ අය බලයේ සිටි අය. යාපනයේ කිසිම මාධ්‍යවේදියෙක් විශ්වාස කරන්නේ නැහැ මාධ්‍යවේදියෙක් ඝාතනය කිරීම හෝ බලහත්කාරයෙන් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් නිසි අධිකරණ පරීක්ෂණයක් සිදුවෙයි කියලා," මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ නිමලරාජන්ගේ මිතුරෙකු වන රතිනම් තයාපරන් පවසයි.

නිමලරාජන්ගේ පවුල පවා සිතන්නේ ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බව යි.

"මෙච්චර අවුරුදු ගාණක් තුළ ශ්‍රී ලංකා රජයට වුවමනාවක් තිබුණා නම් නිසැකවම පියවරක් ගන්න තිබුණා. මේ මිනීමැරුම රජයේ අනුග්‍රහය ඇතිව සිදුවුණු එකක් නිසා ඊට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න අදහසක් ඒ අයට නැහැ. මිනීමරුවන් කවුද කියලා ආණ්ඩුව හොඳට දන්නවා," නිමලරාජන්ගේ සහෝදරියන් තිදෙනාගෙන් එක් අයෙකු වන සෙල්වරාණී පවසන්නී ය.

"අපේ ගෙදර තිබුණේ අධි ආරක්‍ෂිත කලාපය ඇතුළේ. (ඒ දවස්වල) ඇඳිරි නීතියත් තිබුණා. හමුදා කඳවුරුත් තිබුණා. ඉතින් උදව්ව නැතුව කවුරුවත් එහෙම දෙයක් කරන්න එඩිතර වෙන්නේ නැහැ. ළමයෙක්ට පවා කියන්න තේරෙනවා රජයේ උදව් නැතුව කාටවත් ඒක කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ කියන එක," මෛල්වාගනම් නිමලරාජන්ගේ සහෝදරියක් වන සෙල්වරාණී පවසයි.

நிமலராஜன்
ඡායාරූප ශීර්ෂ වැකිය, නිමලරාජන්

අතුරුදන් වූ මාධ්‍යවේදීන්

"නිමලරාජන් විතරක් නෙවෙයි, යුද්ධෙ කාලෙදි ඝාතනයට ලක්වුණු, අතුරුදහන් වුණු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ලංකාවේ රජය කිසි පියවරක් ගත්තේ නැහැ," රතිනම් තයාපරන් පවසයි.

එක්සත් ජනපදය පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ ඇස්තමේන්තුවට අනුව, 1992 - 2022 කාල සීමාව තුළ මාධ්‍යවේදීන් 25 දෙනෙකු පමණ ඝාතනයට ලක්ව තිබේ. එහෙත් තයාපරන් පවසන්නේ එම සංඛ්‍යාව ඊටත් වඩා වැඩි බව යි.

"නිමලරාජන් ඝාතනයෙන් පස්සේ දෙමළ ප්‍රදේශයන් හී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කාර්ය මණ්ඩලයට අයිති තිස් දෙනෙකුට වඩා ඝාතනය කෙරුනා හෝ අතුරුදහන් කෙරුනා. මේ ඝාතන හෝ මාධ්‍යවේදීන් අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිදු විදියක නඩු පැවරීමක් සිදුකරලා නැහැ," රතිනම් තයාපරන් පවසයි.

නමුත් රජය මෙම චෝදනාවන් ප්‍රතික්ෂේප කරයි.

බලාපොරොත්තු දැල්වූ අත්අඩංගුවට ගැනීම

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් යුද අපරාධ අංශය මධ්‍යම එංගලන්තයේ නෝර්ත්හැම්ප්ටන්ෂයර්හි දී සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබුණි. අනතුරුව, 'පරීක්ෂණයකින් පසුව ඔහු නිදහස්කර තිබෙනවා,' යනුවෙන් යුද අපරාධ විමර්ශන අංශයේ පොලිසිය පවසයි.

විමර්ශනයට සහාය විය හැකි තොරතුරු සහිත පුද්ගලයින්ට, විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාවට, ඉදිරිපත්වී තොරතුරු ලබාදෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියි.

இலங்கையில் கொல்லப்பட்ட பத்திரிகையாளர்களுக்கு நீதி கோரும் சக பத்திரிகையாளர்கள்

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්තිය ඉටුවනු ඇත්තේ ජාත්‍යන්තර පරීක්‍ෂණවලින් පමණකැ යි යාපනයේ මාධ්‍යවේදීන් විශ්වාස කරයි

නිමලරාජන්ගේ වැඩිමහල් දියණිය මෙම අත්අඩංගුවට ගැනීම දකින්නේ බලාපොරොත්තුවේ හිරු කිරණක් ලෙස ය. නිමලරාජන් ඝාතනය වන විට පස් හැවිරිදි වියේ පසුවූ ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට කැමති වූයේ නැත.

"ඒ කාලේ මම ගොඩක් පොඩියි. තාත්තා අපිව දාලා ගියාට මම තරහෙන් හිටියේ. ඒ දවස්වල මට කිසිදෙයක් තේරුම්ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම තාත්තා ගැන දැනගත්තේ මගේ පවුලේ අයගේ කතාවලින්. අවුරුදු කීපෙකට පස්සේ මට මගේ තාත්තාගේ රස්සාව මොකක්ද කියලා තේරුම් ගියාම ආඩම්බරයක් දැනුනා."

එමෙන්ම, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීමට ද පසුගියදා සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීම ඉවහල් වනු ඇතැ යි ඇය බලාපොරොත්තු වන්නී ය.

"තාත්තා එක්ක ජීවිතේ සන්ධිස්ථාන සමරන්න මට තිබුණු අවස්ථාව මගෙන් උදුරගත්තා. ප්‍රචණ්ඩත්වය, අයුක්තිය, සහ කුරිරුකම, දෙමාපියන්ට ඔවුන්ගේ පුතා, බිරිඳට ඇගේ සැමියා, සහෝදරියන්ට ඔවුන්ගේ සහෝදරයා, දියණියකට ඇගේ පියා අහිමිකරලා දැම්මා."

වසර ගණනාවක් ගෙවී යාමෙන් පසු, යාපනය මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා රජය කෙරෙහි තිබූ බලාපොරොත්තුව නැතිවී ඇතැයි පවසන ඔවුන් දැන් විශ්වාස කරන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් යැයි පවසයි.

"යුක්තිය ඉටුකරන්න පුළුවන් ජාත්‍යන්තර පරීක්ෂණයකට පමණයි. ලියාපදිංචි ජාත්‍යන්තර සංවිධානයේ නිරීක්ෂණය යටතේ මෙම විමර්ශනය සිදුවිය යුතු යි. යුක්තිය ක්‍රියාත්මක වෙනවා ඇත්තේ එතකොට යි," තයාපරන් පවසයි.

"ඝාතනයට ලක්වූ සහ අතුරුදන්වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පරීක්ෂණයක් පවත්වන" බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ ය.