"අනිසි ලෙස ඉන්ධන තොග රැස්කර ගන්න එපා" - බලශක්ති අමාත්‍යංශය

අද දිනයේ පැය පහකට ආසන්න දෛනික විදුලි කප්පාදුව මැද, ඉන්ධන ලබා ගැනීම සඳහා ද ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.

පවතින ඉන්ධන අර්බුදය සමථයට පත්කිරීම සඳහා පෙබරවාරි 22 වැනිදා පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී, රජය අර්බුදය විසඳීම සඳහා තීරණ කිහිපයකට එළඹ තිබේ.

රජය ගත් තීරණ මොනවා ද?

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල වැඩිකිරීමක් නොකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය.

ගෝලීය මිල ගණන් නව ඉහළ මට්ටමකට පැමිණිය ද, ඉන්ධන මිල පවත්නා මිලට පවත්වාගෙන යන බව ඔහු පැවසීය.

ජනතාවට අඛණ්ඩව විදුලිය සහ ඉන්ධන සැපයීම සහතික කිරීම වටා මෙම රැස්වීම කේන්ද්‍රගත වූ බවත්, කොළඹට පැමිණි ඉන්ධන නෞකාව සඳහා මුදල් ගෙවීමට මෙහිදී උපදෙස් දුන් බවත් ඔහු පවසා සිටියේ ය.

ඉන්ධන සැපයීමේ කිසිදු හිඟයක් ඇති නොවිය යුතු බවට කැබිනට් මණ්ඩලය එකහෙළා එකඟ වූ බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

තව ද, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් ගෙවීමට රජය එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

"ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට දළ වශයෙන් බැංකුවලින් රුපියල් බිලියන 80ක් සඳුදා වෙනකොට ලැබෙනු ඇතැ යි," ඔහු සඳහන් කළේ ය. කෙසේ වෙතත් මෙම ණය පියවීම සඳහා අරමුදල් සම්පාදනය කර ගන්නේ කෙසේදැ යි ඔහු අනාවරණය කළේ නැත.

යුක්රේන අර්බුදය ඉන්ධන මිලට බලපෑම් කරයි ද?

බටහිර රටවල් සමග ඇති අර්බුදය උත්සන්න කරමින්, නැගෙනහිර යුක්රේනයෙන් බිඳීගිය කලාප දෙකක ස්වාධීනත්වය පිළිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණයෙන් පසු, ප්‍රධාන තෙල් නිෂ්පාදක රාජ්‍යයක් වන රුසියාවෙන් තෙල් අපනයනය කඩාකප්පල් විය හැකි බව වෙළඳුන් තක්සේරු කිරීමත් සමග ජාත්‍යන්තර වෙළෙඳපොලේ බොරතෙල් මිල අඟහරුවාදා බැරලයකට ඩොලර් 100කට ආසන්න අගයක් දක්වා ඉහළ ගියේ ය.

කෙසේ වෙතත්, එම මිල ගණන් 2008 ජූලි මාසයේ දී බැරලයකට වාර්තා වූ ඩොලර් 147ක වාර්තාගත අගයට මෙතෙක් ආසන්න වී නොමැත.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අවසන් වරට ඩොලර් 97.03ක් වූ අතර, එය 1.72%කින් ඉහළගොස් තිබේ. 2014 සැප්තැම්බර් මාසයට පසු මෙතෙක් එහි වාර්තා වූ ඉහළම මිල මෙය යි.

රුසියාවේ බලශක්ති අපනයනය කිසියම් ගැටුමකින් කඩාකප්පල් විය හැකි බවට ඇති බිය මින් පිළිබිඹු වේ.

අමෙරිකානු බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක් ඩොලර් 92.93 දක්වා 2.04%කින් ඉහළගොස් ඇත. එය මින්පෙර ඩොලර් 96ට වැඩිව ඇති අතර එය ද 2014 අගෝස්තු මාසයේ සිට මෙතෙක් වාර්තා වූ ඉහළම මිල මට්ටම විය.

පවතින අර්බුදකාරී තත්ත්වයත් සමග යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවේදැ යි මාධ්‍යවේදීන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණගෙන් විමසා සිටි විට ඔහු පවසා සිටියේ, රුසියාව හා යුක්රේනය අතර පවතින යුද තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස ඉහළ යා හැකි බව යි.

"දැනට පවතින තත්ත්වයන් යටතේ ඔබ දන්වා තෙල් මිල ලෝක වෙළඳපොළේ ඉතාමත් ඉහළ මට්ටමකට ළඟා වෙලා තියෙනවා. විශේෂයෙන්ම රුසියාව හා යුක්රේනය අතර පවතින යුද තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ විශාල තෙල් මිල ඉහළ යාමක් තියෙනවා. ඉතින් ඒ හරහා යම් මට්ටමකට මේ ආයතන දෙකම විශාල පාඩු ප්‍රමාණයක් විඳගෙන තෙල් ලබාදෙන්නේ කියන කාරණාව ඔබ දන්නවා. යම් පමණක එවැනි වෙනසක් ඉදිරියේ දී සිදුවන්නට ඉඩ තියෙනවා." ඔහු ප්‍රකාශ කළේ ය.

"කෙසේ වෙතත් එවැනි තීන්දුවක් දැනට අරගෙන නැහැ. නමුත් අපි විශ්වාස කරනවා. ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල අඩුවීමක් සිදුවුණොත් ඒ වාසියත් ජනතාවට නැවත ලබාදිය යුතු කියන එක අපි කියනවා. අපි දෙපැත්තකින් බැට කනවා. එක පැත්තකින් ජල විදුලි අර්බුදයත් අනෙක් පැත්තෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසාත් අපි දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනවා."

රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන අර්බුදය නිසා ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලය ඩොලර් 115ක් දක්වා ඉහළයාමට හැකි හෙයින්, පැරණි මිලට ඇනවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන්නැ යි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවසීය.

වර්තමානයේ පැනනැගී ඇති අර්බුද ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගැන මුදල් ඇමතිවරයා විපක්ෂයේ කල්තැබීමේ විවාදයට පෙර පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව ඇතැ යි ද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.

"රුසියාව යුක්රේනයට ඇතුළු වීමෙන් පසුව ලෝකයේ තෙල් බැරලයක් ඩොලර් 115ක් වේවි. අපට දැනටත් මුදල් ගෙවන්න නොහැකි වී තිබෙනවා. දැනට පැමිණ තිබෙන නැව් දෙකට කෙසේ හෝ මුදල් ගෙවන එක හොඳයි," ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

"අනිසි ලෙස ඉන්ධන තොග රැස්කර ගන්න එපා"

අනිසි ඉන්ධන තොග රැස්කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. වොල්ගා පවසා සිටියේ පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නැව් දෙකක් මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති බව යි.

ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක නෞකාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීමෙන් ඩොලර් මිලියන 35.3ක මුදලක් පෙබරවාරි 22 දා ගෙවීමට කටයුතු කළ බවට අමාත්‍යංශයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

බලශක්ති අමාත්‍යංශය තවදුරටත් පැවසුවේ ඉන්ධන තොග දිවයින පුරා බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව යි.

එබැවින් ඉන්ධන හිඟයක් පිළිබඳ අනිසි බියකින් තොරව කටයුතු කරන ලෙස ද, අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කිරීමෙන් වලකින ලෙස ද අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, මේ වන විටත් දිවයින පුරා බොහෝ ඉන්ධන පිරිවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර සමහර පිරිවුම්හල් මේ වන විට තම තොග අවසන් බව පවසමින් වසා දමා ඇත.

ඉන්ධන පෝලිම් මැද විදුලියත් කැපෙයි

පෙබරවාරි 23 වනදා පැය 4කුත් විනාඩි 40ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, පවතින ඉන්ධන හිඟය නිසා විදුලිය කප්පාදුව සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලුම්කර ඇති බව ය.

ඒ අනුව පෙබරවාරි 23 දිනයේ දී A, B, සහ C කලාප සඳහා පැය 4කුත් විනාඩි 40ක් ද, අනෙකුත් කලාපවලට පැය 4කුත් විනාඩි 30ක් ද විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබේ.

විදුලි කප්පදුව සම්බන්ධයෙන් මහජනතාව රජයට දැඩි විවේචන එල්ල කරමින් සිටියි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ විදුලිය විසන්ධි කිරීමට හේතුවී ඇත්තේ විදුලි බලාගාරවල අඩුවක් නොවන බව යි.

"විදුලිය කපන්න හේතුවෙලා තියෙන්නේ, අපේ රටේ තියෙන තාප බලාගාරවලට, දැවිතෙල් බලාගාරවලට වේලාවට ඉන්ධන ලබා දීමට නොහැකි වීම නිසයි," මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ ඕනෑම වෙලාවක විදුලිය සැපයීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට මෙගාවොට් 3551ක ධාරිතාවක් ඇති බවත් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සැපයෙන ධාරිතාව මෙගාවොට් 1357ක් බවයි.

ඒ අනුව සැපයීමට හැකි සමස්ත ධාරිතාව මෙගාවොට් 4908ක් වන බව මන්ත්‍රීවරයා පවසා සිටියේ ය.

හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක සඳහන් කළේ, මෙරට උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක් බව යි. "මෙගාවොට් 3000 ඉක්මවා යන ඉල්ලුමක් නැහැ," ඔහු පැවසුවේ ය.

"වෙස්ට් කෝස්ට් මෙගාවොට් 300 අහිමි වෙනවා. ඩීසල් සපයපු නැති නිසා දින දෙකකට ඩීසල් දුන්නා. ඒක ඉවර වුණා," මන්ත්‍රීවරයා තවදුරටත් පවසා සිටියේ ය.

"දැන් මේක තමා අර්බුදය. වැඩිපුර පැය එකහමාරක දෙකක විදුලි කප්පාදුවක් එනවා. අප්‍රේල් මාසයට පෙර ඇනවුම් කළ අවශ්‍ය ගල් අඟුරු තොග 23 ගෙනාවේ නැත්නම් මේ අර්බුදය තවත් තිව්‍ර වෙනවා," මන්ත්‍රීවරයා අනතුරු අඟවා සිටියේ ය.