නොරොච්චෝලේ බලගැන්වීමෙන් විදුලි අර්බුදය නිමාවනු ඇත්ද?

2021 දෙසැම්බර් මාසයේ සිට ජාතික විදුලිබල පද්ධතියට අහිමිව තිබූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ තෙවැනි ජනක යන්ත්‍රයෙන්, මෙගාවොට් 160ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කළ බව බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමෙන් මෙරට විදුලි අර්බුදයට විසඳුම් ලැබේවිදැ යි අපි විමසා බලමු.

නොරොච්චෝලේ බලාගාරය

නොරොච්චෝලේ පිහිටි ලක්විජය බලාගාරය, මෙගාවොට් 300 බැගින් නිපදවන විදුලි උත්පාදක යන්ත්‍ර තුනකින් සමන්විත වේ. මෙම බලාගාරය ශ්‍රී ලංකාව තුළ ඉදිකළ පළමු ගල් අඟුරැ විදුලි බලාගාරය යි.

බලාගාරයේ ඉදිකිරීම් 2006 මැයි මස 11 ඇරඹුනු අතර, එහි පළමු අදියර 2011 මාර්තු 22 වැනිදින විවෘත කිරීමෙන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් පද්ධතියට ලබාදෙනු ලැබුණි.

බලාගාරයේ දෙවන අදියර 2010 මැයි මස දී, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින්, ආරම්භකරනු ලැබූ අතර, වැඩ අවසන් කරන ලද එම අදියර 2014 සැප්තැම්බර් 16 වන දින දී චීන ජනපති ෂී ජිංපිං සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ව, ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගා වොට් 600ක් එකතු කරමින් විවෘත කරන ලදී.

මෙගා වොට් 900ක ධාරිතාවක් ලබාදෙන ලක්විජය විදුලි බලාගාර ව්‍යාපෘතියෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු චීනයේ CMEC ආයතනය යි. මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සිම් බැංකුව මඟින් මූල්‍යාධාර සපයා ඇත.

ලක්විජය විදුලි බලාගාරය (වෙනත් ගල් අඟුරු බලාගාර මෙන්ම) කොටස් ගණනාවකින් සමන්විත දැවැන්ත පද්ධතියක් වන බැවින් හා අතිශයින් සංකීර්ණ ක්‍රියාවලියකින් සමන්විත වන බැවින්, එය එකවර නතරකර ගැනීම හෝ නතර වූ විට එය නැවත එකවර පණගැන්වීම හෝ කළ නොහැක් කේ එය සිසිල් වන තුරු දින ගණනාවක් බලා සිටිය යුතු නිසා ය.

තව ද, ගල් අඟුරු බලාගාරවලටම ආවේණික හේතූන් මත විටින් විට බලාගාරයේ සේවය ලබා ගැනීමට නොහැකි අවස්ථාවන් ද උද්ගත වී ඇත.

නඩත්තු කටයුතු සඳහා, වසර හතරකට වරක් නියමිත දින ගණනක් ඒ ඒ ඒකකය මුළුමනින්ම අක්‍රියකර තැබීම අනිවාර්ය අවශ්‍යතාවකි. මෙය 'A මට්ටමේ අලුත්වැඩියාවක්' ලෙස හදුන්වනු ලැබේ. ඒ සඳහා එක් ජනක යන්ත්‍රයක් දින 100ක පමණ කාලයක් බැගින් අක්‍රියකර තැබීමට අවශ්‍ය වේ.

නියම කරනු ලැබ ඇති තවත් නඩත්තුවක් 'B මට්ටම' ලෙස නම්කර තිබෙන අතර, එම අලුත්වැඩියාව සදහා සෑම වසර දෙකකටම වරක් එක් ජනක යන්ත්‍රය බැගින් දින 30-35ක කාලයක් සඳහා අක්‍රීය කරනු ලැබේ.

ඉහත මට්ටමේ නඩත්තු දෙකම නොයෙදුනු වසරක දී 'C මට්ටමේ නඩත්තුවක්' නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා දින 20ක පමණ කාලයක් අක්‍රීයකර තැබීමට සිදුවේ.

මහා පරිමාණයේ විදුලි බිඳවැටීමක් ජාතික විදුලිබල පද්ධතියේ සිදුවුවහොත්, එවැනි විචල්‍යයක් ක්ෂණිකව දරා ගැනීමේ හැකියාවක් ගල් අඟුරු බලාගාරයක් සතුව නොපවතියි.

එමනිසා එවැනි අවස්ථාවක දී බලාගාරය ස්වයංක්‍රීයව අක්‍රීයවන්නේ අඛණ්ඩව ධාවනය වුවහොත් යන්ත්‍රසූත්‍රවලට හා පද්දතියට සම්බන්ද කර ඇති උපකරණ වලට සිදුවිය හැකි හානිය නවතා ගැනීමට යි.

එසේ අක්‍රීය වූ බලාගාරය නැවත පණගැන්වීමට අවම වශයෙන් දින තුනක පමණ කාලයක් ගත වේඒ එම යන්ත්‍රය නැවත පන ගැන්වීමට එම ජනක යන්ත්‍රය සිසිල් විය යුතු බැවිනි . මෙලෙස ගල් අඟුරු බලාගාරයක් අක්‍රීයවීම දෝශ සහගත තත්ත්වයක් නොවන අතර, එය ආරක්ෂිත උපායක් ලෙස සලකනු ලැබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සතු වන්නේ එක් ගල් අඟුරු බලාගාරයක් පමණක් බැවින් හා එය රටෙහි විදුලි ඉල්ලුමෙන් හරි අඩක්ම සපයන බැවින්, මෙය අක්‍රිය වන සෑම අවස්ථාවක දීම ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට දැඩි බලපෑමක් සිදුවන බවට විදුලි ඉංජිනේරුවන් පවසයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනක යන්ත්‍රය 2021 වසරේ දෙසැම්බර් සිට අලුත්වැඩියා සඳහා අක්‍රීයව තැබුණු අතර, ඒ සඳහා චීන විශේෂඥයින් ද මෙරටට පැමිණ තිබුණි. එම ජනක යන්ත්‍රය අලුත්වැඩියා කිරීමෙන් පසු මෙලෙස මෙගාවොට් 160ක් ජාතික පද්ධතියට එක්කළ බව විදුලි බල මණ්ඩලය ජනවාරි 31 වනදා පැවසීය.

විදුලි අර්බුදය අවසන්ද?

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ ද, විදුලි අර්බුදයට පූර්ණ විසඳුමක් නොලැබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි පවසා සිටියේ, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ජල විදුලි උත්පාදනය ද පහත වැටී ඇති බව යි.

ජල විදුලි උත්පාදනය 55%ක් දක්වා අඩුවී ඇති බැවින් තාප බලාගාර ඇතුළු සෙසු බලාගාරවලින් ජාතික අවශ්‍යතාව සපුරාලීමට සිදුව ඇතැ යි ඔහු පැවසිය.

නැවැත දැණුම්දෙන තුරු විදුලිකප්පාදුවකට අවසර නැහැ.

නැවත දැණුම් දෙන තුරු විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අද (ජනවාරි 31) අවධාරණය කළේය.

නොරොච්චෝලේ බලාගාරයේ 03 වැනි ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීම සහ දැවිතෙල් හා ඩීසල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග සැපයීම හමුවේ විදුලි කප්පදුවකට අවශ්‍යතාවක් නොමැති බව ඔහු පවසා සිටියේය.

සපුගස්කන්ද, උතුරු ජනනී, කොළඹ පාවෙන බලාගාරය වැනි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලැබීම හමුවේ තත්ත්වය කළමනාකරණය කර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

හදිසි විදුලිය මිලදී ගැනීටත් අවසර නැහැ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අවධාරණය කළේ, හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා ක්‍රමෝපායක් ඇති බවයි. එය හදිසියේ තීරණය කළ නොහැකි බවත්, විදුලිය හදිසි අවශ්‍යතාවක් සේ මිලදී ගත යුතුද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් බවද ඔහු පවසා සිටියේය.

සභාපතිවරයා තවදුරත් පෙන්වා දුන්නේ හදිසි විදුලිය මිලදී ගැනීමකට යෑම මිල අධික, පිරිවැය අධික ක්‍රමයක් බවයි. එමගින් තවත් විශාල අලාභයක් විදුලි බල මණ්ඩලයට දැරීමට සිදුවනු ඇතැයිද මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේය.

පසුගිය වසර පහ තුළ හදිසි මිලදී ගැනීම් සඳහා කළ ඉල්ලීම් 16කට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී නොමැති බවත්, එසේ කිරීමෙන් විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් මතු නොවූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ ඒ තුළින් ලංකාවේ ආර්ථිකයට රුපියල් බිලියන 570කට වඩා ප්‍රතිලාභයක් ලැබී ඇති බවයි. හදිසි මිලදී ගැනීම් කළේ නම් රුපියල් බිලියන 570ක වියදමක් දැරීමට රජයට සිදුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.

පෙබරවාරි මැද විදුලි කප්පාදුක්..?

පවතින තත්ත්වය හමුවේ පෙබරවාරි මැද - මාර්තු මුළ විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසා සිටියේ, විදුලිය කප්පාදුවකින් තොරව කටයුතු කිරීමට නම් මහජනතාව විදුලි පරිභෝජනය යම් ප්‍රමාණයකට අඩුකළ යුතු බවයි. තමන්ගේ පරිභෝජනය අඩුකර සහයෝගය ලබාදීමට පාරිභෝගිකයාටද විශාල වගකීමක් ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ සඳහා විදුලි උපාංග භාවිතය අඩුකරන ලෙසත්, කාර්ය බහුලවේලාන්හි (සවස 6 සිට රාත්‍රී 10සහ අලුයම 5 සිට පෙරවරු 7.00 දක්වා) විදුලිය භාවිතය අඩු කිරීම හා විදුලි බුබුළු භාවිතය අඩු කර ගැනීමට ක්‍රියා කරන ලෙසත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනවාරි 25 වැනිදා සිට පෙබරවාරි 04 වැනිදා දක්වා විදුලි කප්පාදුවකට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මීට පෙර අවසර ඉල්ලා තිබිණ.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා නොදුන් අතර, එම සති 03ක පමණ කාලසීමා තුළ විදුලි කප්පාදු නොකාරීම නිසා රුපියල් බිලියන 31ක් පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ ජනත රත්නායක පවසා සිටියේය.

"විදුලි උත්පාදනයට වඩා ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාව දෙනවා"

මේ අතර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, විදුලි උත්පාදනයට ඉන්ධන සැපයීමට වඩා ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාව දෙන බව යි. එසේ නොවුණහොත් රටේ විශාල අර්බුදයක් ඇතිවිය හැකි බව ඔහු පවසා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික විදුලි ඉල්ලුම 8%කින් ඉහළගොස් ඇති බවට අමත්‍යවරයා පැවසිය.

නමුත්, 2014 වසරෙන් පසුව එම ඉල්ලූම සපුරාලීම සඳහා කිසිදු නව බලාගාරයක් ජාතික පද්ධතියට අලුතින් එක්කර නැතැ යි අමාත්‍යවරයා සඳහන් කළේ ය. එබැවින් පවතින තාප බලාගාරවලට රටේ සම්පූර්ණ ඉල්ලුම සපුරාලීමට හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය.

අමාත්‍ය උදයගම්න්පිල උපකල්පනයක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ, පෙබරවාරි මස මැද දී හෝ මාර්තු මස මුල වන විට අනිවාර්ය විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව යි.

ඉදිරි මාසවල පවතින වියළි කාලගුණය තවත් උග්‍රවීම හමුවේ ජල විදුලි උත්පාදනය තවදුරටත් පහළ යා හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.